පාසලෙන් කොරෝනා පොකුරු බිහිවීම වළක්වන්න බෑ


ගුරු වෘත්තීය සමිති   

(දයාසීලි ලියනගේ)  

පවතින වාතාවරණය යටතේ පාසල් හෙට (23) විවෘත කිරීම මගින් කොරෝනා පාසල් පොකුරු බිහිවීම හා දරුවන් අනතුරකට මුහුණපෑම නොවැළැක්විය හැකි වනු ඇතැයි ප්‍රධාන පෙළේ ගුරු වෘත්තිය සමිති අනතුරු අඟවා ඇත.   

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය හා ලංකා ගුරු සංගමය හෙට (23) ප්‍රදේශ ගණනාවක පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තම විරෝධය දක්වා තිබේ.   


සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කර සිටියේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිසි පියවර නොගෙන පාසල් විවෘත කිරීම නොකළ යුතු බවයි.   
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ නිසි ආරක්ෂාවකින් තොරව පාසල් විවෘත කිරීමෙන් පාසල් කොරෝනා පොකුරු බිහිවී දරුවන් අනතුරට ලක්විය හැකි බවයි.  
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීමට පෙර සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස තහවුරු විය යුතු බවයි.  


පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සඳහා අදාළ නිර්නායකයක් ලබාදී තිබෙන බවය. එම නිර්නායකයන්ට අනුකූලව පාසල් විවෘත කිරීමේ වැරැද්දක් නොවන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.