පාසල් යළි අරඹන සැලැස්මෙන් ළමයින් අමාරුවේ


ලංකා ගුරු සේවා සංගමය 

(පද්මිණි මාතර​ගේ)  

අධ්‍යාපන ඇමැතිවරයාගේ පාසල් සහ විභාග ආරම්භ කිරීම සම්බන්ධ සැලැස්ම නිසා ගැටලු ගණනාවක් පැන නැගී තිබෙන බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කර සිටී.  

අධ්‍යාපන බලධාරීන් කෙසේ හෝ පාසල් විවෘත කිරීමට කටයුතු කර ඇති මුත් එය එසේ කර ඇත්තේ දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා කිසිවක් සැලකිල්ලට ලක් නොකර යැයි ද එසේම ගුරු වෘත්තීය සමිති සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා යැයි ද එම ගුරු ​සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.  
කොරෝනා වසංගත තත්ත්වය ​හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම ජුනි 29දා සිට අදියර හතරක් යටතේ සිදුකරන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබිණි.  


මෙහිදී පළමු අදියර යටතේ 5, 11, 13 යන ශ්‍රේණි සඳහා පාසල් විවෘත කෙරෙන අතර 10 හා 12 ශ්‍රේණි දෙවැනි අදියර යටතේ පැවැත්වීමට නියමිතව ඇත. 12 ශ්‍රේණිය දරුවන් ලබන වසරේ උසස් පෙළ කරන දරුවන් බවත්, එම ශ්‍රේණිය පළමු අදියරේදී පටන් ගැනීමට තිබූ බවත් පවසන මහින්ද ජයසිංහ මහතා 12 ශ්‍රේණිය දෙවැනි අදියරට පැවැත්වීමේ පදනම කුමක්දැයි විමසා සිටින බවද කීය.  


උසස් පෙළ විභාගයට පළමු වතාවට මුහුණදෙන දරුවන් විශාල පිරිසකට කොරෝනා වසංගතය සහ පාස්කු ප්‍රහාරය නිසා මාස පහමාරකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබූ බවද ඒ මහතා පෙන්වා දෙයි.  


මේ අතර අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයට කල් දමා තිබෙන බවත් මාස පහමාරකට ආසන්න විෂය කරුණු සහ විෂය කොටස් එක් මාසයකින් දරුවන් ආවරණය කර ගන්නේ කෙසේ දැයි විමසා සිටියේය.  
එසේම පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් විවිධ වේලාවට අවසන් කිරීම නිසා ද ගැටලු ගණනාවක් පැන නැගී ඇති බවත් 5 ශ්‍රේණිය පස්වරු 1.30, 03 සහ 04 ශ්‍රේණි 12 පස්වරු 12.30 ලෙස වෙනස් කර තිබෙන බවත් අධ්‍යාපන බලධාරින් රටේ ප්‍රායෝගික තත්ත්වයන් නොදැන මෙම වෙනස්කම් කර තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පවසයි.  
සමහර සිසු දරුවන් සිසු සැරිය බස්රථවලින් ද තවත් සිසුන් පාසල් බස් රථ සහ වෑන් රථවලින් ද පාසල් යන අතර දරුවන් පාසල් නිමවා බස් රථවලට නංවා ගන්නේ ශ්‍රේණි අනුව නොවන බවත් 12.30ට පාසල් අවසන්වන දරුවෙකුට පස්වරු 3.30 දක්වා රථයේ සිටීමට සිදුවන අවස්ථා මේ අනුව විය හැකි යැයි ද ඔහු පවසයි.  


මෙයට අමතරව පාසලේ විෂබීජහරණය, අත් සේදීමට අවශ්‍ය සින්ක් බඳුන් තැබීම, ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ ලබා දීම ඇතුළු කටයුතු ගණනාවක් වෙනුවෙන් යන වියදම් සියල්ල පාසල් සංවර්ධන සමිතියෙන් කළ යුතු බවට දැනුම් දී තිබෙන බවත් බොහෝ පාසල්වල ගිණුම්වල මුදල් නොමැති නිසා තවත් අර්බුද රැසක් පැන නැගී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.