පාසල් ප්‍රවාහන වෑන් ගාස්තු ජූනි 1 වැනිදා සිට ඉහළට


(මහින්ද නිශ්ශංක)  

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ ගාස්තු ලබන ජුනි 1 වැනිදා සිට සියයට 10ක උපරිමයකට යටත්ව වැඩි කිරීමට තීරණය කර  ඇතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ප්‍රධාන ලේකම් කිත්සිරි විජයානන්ද අමරසිංහ මහතා පවසයි.  

ඩීසල් මිල රුපියල් 14කින් වැඩි කිරීම, ප්‍රධාන පාසල් වෑන් රථ හා බස්රථවලට අදාළ තවත් වැඩිවීම් ගණනාවක් හේතුවෙන් පාසල් වෑන් රථ හා බස් රථ ගාස්තු ඉහළ නැංවීමට සිදු වී ඇතැයි කී ලේකම් කිත්සිරි මහතා පාසල් ළමුන්ගේ දෙමව්පියන් අපහසුතාවට පත් නොකර පාසල් වෑන් රථ හා බස්රථ ගාස්තු වැඩි කරන බව ද කීය.  


පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථවල අමතර කොටස්, එන්ජින් ඔයිල්, ටයර් සහ ටියුබ්, බැටරි මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දෙන ලේකම්වරයා ඒවායේ මිල අඩුකර පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ හා බස්රථවලට සහන සලසන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීම් ගණනාවක් කළද මෙතෙක් එම සහන ලැබී නැතැයි ද පැවැසීය.  


මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන තවත් සංගමයක් වන සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඩීසල් වැඩිවීම නිසා පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ හා බස් රථ ගාස්තු අනිවාර්යයෙන්ම වැඩි කිරීමට සිදු වී ඇතත් එම වැඩි කිරීම දෙමාපියන් සමග සාකච්ඡා කර සිදුකරන බවය.