පාසල් පන්තියකට ළමයින් පහ බැගින් වැඩි කරයි


 දැනට ඇති 35 සීමාව 40 ට නංවයි

 

 (අජන්ත කුමාර අගලකඩ)  
රජයේ පාසල්වල එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් ගණන 35 සිට 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.  

 ඒ සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ.  
 රජයේ පාසල්වලට ගුරු සහායකයන් බඳවා ගැනීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බැවින් ඊට සමගාමීව පන්තිවල සිටිය හැකි සිසුන් ගණන ද වැඩි කිරීමට තීරණය වී තිබේ.  


 පන්ති භාර ගුරුවරයාට අමතරව, සෑම පන්තියකටම ගුරු සහායකයකු ද පත්කෙරෙන බැවින් පන්තිවල සිසුන් ගණන 5 කින් වැඩි කිරීම ගැටලුවක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දී ඇත.  


 ඒ අනුව සෑම පාසලකටම සිසුන් වැඩි පිරිසක් ඇතුළත් කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.