පාසල් යළි අරින්න නව නිර්දේශ මාලාවක්


(අජන්ත කුමාර අගලකඩ)   

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට යවනු ලැබ ඇත.  මෙම නව නිර්දේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉකුත් සිකුරාදා (17) යවනු ලැබූ බව වාර්තාවේ.   

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නිර්දේශ මාලාව යවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව බව ද පැවැසේ. රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පන්ති පමණක් ලබන සතියේ ආරම්භ කරන ලෙසත් ඉතිරි ශ්‍රේණි ලබන 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව ආරම්භ කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් දී ඇති බව ද වාර්තාවේ.   
එහෙත් එම පන්ති සඳහා පාසල් සඳුදා (හෙට) ආරම්භ කරන්නේද යන්න අධ්‍යාපන අමාත්‍යංශය පෙරේදා (සිකුරාදා) සවස් වනතුරුත් තීන්දු කර නොතිබිණි.


රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ, සාමාන්‍ය පෙළ පන්ති සහ 5 ශ්‍රේණියේ පන්ති මාස තුන හමාරකට පමණ පසුව ඉකුත් ජුනි මස 29 වැනිදා ආරම්භ කරනු ලැබූ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ ගිය සතියේ දී පාසල් වසා දමනු ලැබීය.   


කොවිඩ් 19 වයිරසය හමුවේ පාසල්වල කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම නව නිර්දේශ මාලාව නිකුත් කර ඇත.