පාර්ලිමේන්තුවෙන් 2017 ගැසූ පොතක් රජයේ මුද්‍රණාලයේ ගොඩගහලා


 

(උපුල් වික්‍රමසිංහ)  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර හැත්තෑවක් සැපිරීම නිමිත්තෙන් 2017 වසරේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් වැය කරමින් පාර්ලිමේන්තුව විසින් රජයේ මුද්‍රණාලය හරහා මුද්‍රණය කරනු ලැබූ සමරු ග්‍රන්ථයෙහි පිටපත් විශාල ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන රජයේ මුද්‍රණාලයෙහි ගොඩගසා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එම ග්‍රන්ථය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කිරීමට සැලසුම් කළද එහි දෙමළ පිටපත් මුද්‍රණය කර නැති අතර සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පළවූ පාර්ලිමේන්තුව පිළිබඳ ලිපි දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා විශාල මුදලක් වැය කර ඇති බවද දැනගන්නට ලැබෙයි.  


එම ග්‍රන්ථයෙහි සිංහල පිටපත් 2000 ක්ද, ඉංග්‍රීසි පිටපත් 1537 ක්ද මුද්‍රණය කර ඇති නමුත් මේ දක්වා ඒවායෙන් පාර්ලිමේන්තුවට රැගෙන ගොස් ඇත්තේ පිළිවෙළින් සිංහල පිටපත් 463ක් හා ඉංග්‍රීසි පිටපත් 534 ක් පමණි. 2017 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් සාක් කලාපීය රටවල කතානායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැති අතර ඊට සමගාමීව පාර්ලිමේන්තුවේ ඉතිහාසය හා සියලු තොරතුරු ඇතුළත් කරමින් මේ සමරු ග්‍රන්ථය මුද්‍රණය කෙරිණි.  


මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, එම සමරු ග්‍රන්ථය පාර්ලිමේන්තුව මුල් වී මුද්‍රණය නොකළ නමුත් එහි පිටපත් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගෙනා බවත් එහි සෙසු පිටපත් රජයේ මුද්‍රණාලයේ තිබේ ද යන්න ගැන නොදන්නා බවත්ය.  


රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පැවසුවේ, රජයේ මුද්‍රණාලයේ ගොඩගැසී තිබෙන අදාළ සමරු ග්‍රන්ථයේ ඉතිරි පිටපත් සියල්ල පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ බලධාරීන් සමග කළ සාකච්ඡාවේදී ඒවා පාර්ලිමේන්තුවට එවන මෙන් දැනුම්දුන් බවත් ඒ අනුව පිටපත් සියල්ල යැවීම සඳහා සූදානම් කර ඇති බවත්ය. එම සමරු ග්‍රන්ථය මුද්‍රණය කිරීම සඳහා ඇනවුම් ලැබුණේ පාර්ලිමේන්තුවෙන් දැයි කළ විමසීමේදී ඇය සඳහන් කළේ සිය මතකය අනුව එය පාර්ලිමේන්තුවෙන් ලැබුණු ඇනවුමක් බවය.