පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම 4 වැනිදා සිට විභාගයට


 

(තිළිණි ද සිල්වා) 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අනිද්දා (04) සිට ලබන 06 වැනිදා දක්වා එක දිගට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතය. 

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ ,ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන මස විභාගයට ගැනීමට නියමිතය. 


විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් සලකා බලමින් අගවිනිසුරුවරයා විසින් හත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට තීන්දු කළේය. 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා මෙම නඩු විභාගයේ අතුරු පෙත්සම් ගොනු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, වැල්ලවත්තගේ ජගත්, මහාචාර්ය චන්න ජයසුමන සහ නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත යන පිරිස් විසින් මෙම මෝසම ගොනු කරනු ලැබූහ. 


අතරමැදි පෙත්සම්කරුවන් සිය මෝසම් මගින් සඳහන් කර ඇත්තේ ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාමය කරුණක් වන හෙයින් මෙය පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවය. 


නීතිඥ නිලන්ත විජේසිංහ සහ නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම මෝසමේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳ සිද්ධිය සමාජයේ මහත් කැළඹීමකට ලක්වී ඇති කරුණක් බවයි. ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාමය කරුණක් වන හෙයින් මෙය පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවයි. 


අතරමැදි පෙත්සම්කරුවන් සිය මෝසමෙන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් එම ක්‍රියාවලිය විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 විධිවිධාන යටතේ පංච පුද්ගල, සත් පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවද මෝසමේ සඳහන් වේ. 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. 


එම පෙත්සම් මීට පෙර අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කරුණු සලකා බැලූ අතර එම පෙත්සම් විභාගයට අවසර දුන් එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ඉකුත් නොවැම්බර් 13 වැනිදා නිකුත් කරනු ලැබීය.