පාඨලීට ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්


(නිමන්ති රණසිංහ)  

වර්ෂ 2016 දී රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඉකුත්ද‌ා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.  

මෙම සිද්ධියට අද‌ාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද‌ා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත් කළේ ඉකුත් 24 වැනිද‌ාය.  


මෙම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා නියේජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ ඇප නියෝගයේ පිටපතක් ගාස්තු රහිතව ලබාදෙන ලෙසය. ඒ ඉදිරි නෛතික කටයුතු වෙනුවෙන් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.