ප්‍රවාහන සේව​යේ දුර්වලතා නිසා දිනකට බිලියනයක මුදලක් අහිමි වෙනවා


පෞද්ගලික බස් හිමියන්​ගේ සංගමය  

(දයාසීලි ලියනගේ)  
පොදු ප්‍රවාහන සේවය ක්‍රමවත් නොවීම නිසා දිනකට රුපියල් බිලියනයක මුදලක් රටට අහිමිවෙන බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.  

මාර්ග තදබදය, පරිසර දූෂණය, ප්‍රමාදාය, මගී ප්‍රවාහනය අඩුවීම යනා දී කරුණු ගණනය කර බැලීමේදී පොදු ප්‍රවාහන සේවාව මගින් රටට රුපියල් බිලියනයක පාඩුවක් සිදුවනු බව හෙළි වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්​ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.  


 දිනකට මගීන් 1500 ක පිරිසක් පොදු ප්‍රවාහන සේවාවෙන් ඉවත් වී විකල්ප ගමනා ගමන ක්‍රමවලට යොමුවෙන බව ද අනාවරණය වී ඇතැයි ද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.  


 දැනට බස්රථ 8000 ක අතිරික්තයක් පවතින අතර අධිවේගී මාර්ගවල කාර්යාල සේවා සඳහා බස්රථ 300 ක් යොදවා තිබෙන බව ද ඔහු කීය.  


 ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවලියක් ජනාධිපතිවරයාට හා ප්‍රවාහන ඇමැතිවරයාට ලබා දී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.