ප්‍රධාන පක්ෂ සියල්ලම මෙවර ඡන්දෙට සන්ධානවලින්


 අත, පුටුව, බුලත් කොළය, සීනුව මෙවර නෑ 

(අජන්ත කුමාර අගලකඩ) 

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම මෙවර මහා මැතිවරණයට සන්ධානවලින් තරග කිරීමට තීරණය කර ඇත. මීට පෙර පැවති මහ මැතිවරණවලදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සන්ධානවලින් තරග කළ නමුත් තවත් ප්‍රධාන පක්ෂ කීපයක්ම ඒ ඒ පක්ෂ හා ලකුණුවලින් තරග කළේය.

 
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොහොට්ටුවට සම්බන්ධ දේශපාලන පක්ෂ හා සංවිධානත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්, බුලත්කොළය ලකුණින් තරග කළේය. 

එහෙත් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රීලනිපයෙන් ඉවත්ව පිහිටු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ දේශපාලන පක්ෂ ගණනාවකුත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. 


 එක්සත් ජාතික පක්ෂය හා පසුගිය ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ කිහිපයකුත් 2015 පැවැති මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් අලියා ලකුණ යටතේ තරග වැදුණු නමුත් මෙවර ඔවුන් ‘සමගි ජන බලවේගය’ නමින් නව සන්ධානයකින් තරග කිරීමට තීරණය කර ඇත. එම සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ලකුණ සම්බන්ධයෙන් තීන්දුව ගැනෙනු ඇත. 


ජාතික හෙළ උරුමයත්, දමිළ ප්‍රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයකුත් සමගි ජන බලවේගය’ නමැති සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වනු ඇත. 


 මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඉකුත් ජනාධිපතිවරණයේදී තරග කළ ජාතික ජන බලවේගය නමැති සන්ධානය යටතේ මාලිමාව ලකුණින් මහ මැතිවරණයට තරග කරනු ඇත. 


ජනතා විමුක්ති පෙරමුණ 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ සීනුව ලකුණ යටතේය.