පළාත් සභා තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීම හෙට


(අජන්ත කුමාර අගලකඩ)   

වසර තුනක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (28) පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  

ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී හෙට සවස 6.00ට පැවැත්වෙන අතර ඊට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම් දී ඇත.   


පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමය යටතේ කඩිනමින් පැවැත්වීමට අදාළ කැබිනට් සංදේශයක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මීට සති තුනකට පමණ ඉහත දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඇමැතිවරුන් එහිදී ඒ පිළිබඳව මත දෙකක් ඉදිරිපත් කර තිබිණි.   


පළාත් සභා මැතිවරණයක් මේ මොහොතේ හදිසියේ පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බව ඇමැතිවරුන් පිරිසක් එහිදී ප්‍රකාශ කළ අතර තවත් පිරිසක් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවය.   


මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දන්වා තිබිණි.