පළාත් සභා ඡන්දය මනාප ක්‍රමය යටතේ ?


(අජන්ත කුමාර අගලකඩ)  

දීර්ඝ කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ක්‍රමය යටතේම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තාවේ.  
දැනට සම්මත වී ඇති කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අවුල්සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇති කරුණ සැලකිල්ලට ගනිමින් පැරැණි මනාප ක්‍රමය යටතේම ඡන්දය පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.  
පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට පළාත් සභා මැතිවරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇතත් සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ දී සම්මත නොවීම නිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇත.  


ඒ අනුව පළාත් සභා නවයේම නිල කාලය අවසන් වී ඇතත් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් ඒවායේ පාලනය ආණ්ඩුකාරවරුන් යටතට පත්ව තිබේ.  
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට හෝ පැරැණි මනාප ක්‍රමයට යන දෙකින් කුමන ක්‍රමයකට පැවැත්වුව ද ඒ සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට සිදුව ඇත.  

ලබන අප්‍රේල් අග දී මහ මැතිවරණය පවත්වා අවසන් වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට හැකිවන සේ පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව ද දැනගන්නට ඇත.  


ඒ අනුව පළාත් සභා නවයේ මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේම ලබන වසර මැදවන විට පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.