පළාත් සභා ඡන්දය ජූනියේත් අඩමානයි


යළිත් සීමා නිර්ණයක් ඕනෑ

(උපුල් වික්‍රමසිංහ)  

1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් 2017 දී ගෙන ආ පනතින් යෝජනා වූ මිශ්‍ර නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් යළි සීමා නිර්ණය කටයුතු සිදුකර එහි 

වාර්තාව පාර්ලි​මේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බැවින් මේ වසරේ ජූනි වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත යැයි නීතිවේදීහු පවසති.  

 පසුගිය රජය ගෙනා අද‌ාළ සංශෝධිත පනත ප්‍රකාරව සීමා නිර්ණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයවීමත් පසුව එම කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත් කළ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු සමාලෝචන කමිටුව සිය වාර්තාව ඉදිරිපත් නොකිරීමත් නිසා නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් මෙලෙස නැවත සීමා නිර්ණය කටයුතු සිදුකිරීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති. 

 
අප මේ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මේ නීතිමය ගැටලුව විසඳ‌ා ගැනීම සඳහා ආණ්ඩුවට විකල්ප දෙකක් ඇති බවත් අද‌ාළ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධිත පනත ඉවත්කර ගැනීමට කටයුතු කළහොත් පැරණි මැතිවරණ නීතිය යළි බලාත්මක වන බවත් නැත්නම් එම නව පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විධිවිධාන සකස් කරන තෙක් පැරණි මැතිවරණ නීතිය තාවකාලිකව බලාත්මක කළ හැකි බවත්ය.  


 පළාත් සභා ඡන්ද විමසීම් පනතට 2017 වසරේදී ගෙනා සංශෝධිත පනත අනුව පළාත් සභා සඳහා සමානුපාතික හා කොට්ඨාස යන මැතිවරණ ක්‍රම දෙකෙන් සමන්විත මිශ්‍ර නියෝජන ක්‍රමයක් හඳුන්වා දුන් අතර ඒ අනුව සියයට පනහ බැගින් එම නියෝජන ක්‍රම දෙක යටතේ මහජන නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට විධිවිධාන සලසා ඇත.