පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයටමයි


ශ්‍රීලනිපය දැඩි ස්ථාවරයක

(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ස්ථාවරයකට පැමිණ ඇත.  

 පළාත් සභා මැතිවරණය හා ආර්ථිකය සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව විසින් පත්කරනු ලද කමිටුව ගිය බද‌ාද‌ා (10) රැස්වූ අතර එහිදී ද පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට ශ්‍රීලනිප නියෝජිතයින් දැඩි ස්ථාවරයක සිට අදහස් දක්වා තිබේ.  


නව ඡන්ද ක්‍රමයේ අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කර ගෙන පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේම පැවැත්විය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.  


 පළාත් සභා 9 න් 5 කම නිල කාලය මේ වන විට අවසන් වී ඇති අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ද තව දින කිහිපයකින් අවසන් වීමට නියමිතය.   


පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර සෙසු සියලු දේශපාලන පක්ෂ සිටින බව ද වාර්තා වේ.