පළාත් අතර සංචරණ සීමා නොදැම්මොත් මුළු රටම වහන්න වේවි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  

(උපුල් වික්‍රමසිංහ)  

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තෙවන රැල්ල පාලනය කිරීමට නම් පළාත් අතර සංචරණ සීමා පැනවිය යුතු බවත් එසේ නොකළහොත් මුළු රටම වසා දැමීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.  

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසුවේ මේ මොහොතේ මුළු රටම වසා දැමීමේ අවශ්‍යතාවක් නැති අතර පළාත් අතර සංචරණ සීමා පනවා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා කටයුතු කළ හැකි බවය. කොවිඩ් ආසාදිතයන් ගණන වැඩිවීමත් සමග රෝහල් පද්ධතියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලුව මඟහරවා ගැනීම සඳහා කොවිඩ් ආසාදිත නමුත් නිදන්ගත රෝග හා සංකූලතා නැති සහ සමාජ සහාය ලබාගත හැකි රෝගීන් නිවෙස්වලම රඳවා නිරෝධායනය කරන අතරේ ප්‍රතිකාර කිරීම වැදගත් බව සඳහන් කළ වෛද්‍යවරයා ඊට අද‌ාළව සිය සංගමය සකස් කළ යෝජනාවලිය මේ දිනවල සමාලෝචනය කරමින් සිටින්නේ යැයි ද පැවසීය.