පළමුව පවත්වන්නේ මහ මැතිවරණයද ? ජනාධිපතිවරණයද ?


තීරණය අධිකරණ තීන්දුව අනුවයි

(අජන්ත කුමාර අගලකඩ)  

මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය ද නැතිනම් මහ මැතිවරණය ද යන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව තීරණය වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.   

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් ඇතිවුවහොත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය 2020 වසරේ ජනවාරි 9 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇතත් සිය අභිමතය පරිදි ලබන ජනවාරි 9 වැනිදායින් පසුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතුව පවතී.  


ජනාධිපතිවරණය කලින් ප්‍රකාශයට පත් නොකරන්නේ නම් ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.  


පාර්ලිමේන්තුව ඉකුත් 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැර ලබන ජනවාරි 5 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම් ලබන මස 4, 5 සහ 6 යන තෙදින තුළ විභාගයට ගැනීමට නියමිතය.