පළමු මාස හතරේ සංචාරක පැමිණීම සියයට අනූහතකින් පහතට


(උපුල් වික්‍රමසිංහ)  

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මස 30 වැනිද‌ායින් අවසන් වූ පළමු මාස හතර ඇතුළත දිවයිනට සංචාරකයන් 13797 දෙනකු පැමිණ ඇති අතර පසුගිය 2020 වසරේ අද‌ාළ සමාන්තර කාලය හා සැසඳීමේදී මේ වසරේ සංචාරක පැමිණීම් සියයට 97.3 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි.  

එම වාර්තා මගින් ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව මෙරටේ තුන්වැනි කොවිඩ් රැල්ල ව්‍යාප්ත වීම ආරම්භ වූ අප්‍රේල් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ගණන 4168 ක් වන අතර එයින් වැඩිම පිරිස වූ 796 ක් (19%) ඉන්දියාවෙන් පැමිණ ඇති අතර පස්වැනියට ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි. එහි අගය 334 කි.  


 ඉන්දියාවේ මේ දිනවල කොවිඩ් 19 වයිරසය දරුණු ලෙස පැතිර යන තත්ත්වයක එරටින් සංචාරකයන් ගෙන්වීම තාවකාලිකව නතර කර ඇතැයි පැවැසූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රකාශිකාවක් දැනට බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් ගෙන්වීම තාවකාලිකව නතර කර නැති බවත් ජර්මනිය, ඇමෙරිකාව ආදී රටවල් කීපයක් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කර ඇති හෙයින් සංචාරක පැමිණීම්වල අඩුවක් ද දක්නට ඇති බවත් කීවාය.