පවුල් පිටින් මරාගන්න පාතාල වෛරය


ඇස් පමණක් පෙනෙන ලෙස කළු රෙදිවලින් මුහුණු වසාගත් ආයුධ සන්නද්ධව සිටි සිව්දෙනෙකු කිලෝමීටර් තුනක් ඇතුළත පිහිටි ගම් තුනක නිවෙස් තුනකට කඩාවැදී සිව්දෙනකු බිලිගෙන ඝන මීදුම අතරේ නොපෙනී ගියේ ඉර මුදුන්වීමට හෝරා දෙකක් පමණ තිබියදීය.   


කොස්ගොඩ පමණක් නොව රටම තිගැස්සී අවදි වුණේ පැය භාගයක පමණ කාලයකදී වෙඩිවරුසාවක් එල්ල කර එකම පවුලේ පියකු පුතුන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු ඇතුළු සිව්දෙනකු මරාදමා 15 හැවිරිදි පාසල් සිසුවකුට ද වෙඩිතබා තුවාල සිදුකර ඇති බවට ලැබුණු පුවතිනි.   


කොස්ගොඩ පොලිස් වසමට අයත් යුදපිටිය ක්‍රීඩාපිටිය අසල නිවසක් වෙඩිපිටියක් බවට පත්වූයේ ඉකුත් 29දා අලුයම තුනේ කනිසම පසු වී අඩහෝරාවක් පමණ ගත වූ විටය. ටික කලක් නිහඬව තිබූ දකුණේ පාතාලය යළිත් ගිනියම් වී වැඩපටන්ගත්තේ ‘ලෙයට-ලෙය’, ‘ඇහැට-ඇහැ’, ‘ජීවිතයට-ජීවිතයක්’ යන පාතාල න්‍යාය ක්‍රියාවට නංවමිනි.

ඌරගස්මංහන්දිය නගරය මැද පිහිටි පොලිසියට හූවක පමණ දුරකින් පිහිටි බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසින් ඇසුණු පාතාලයේ වෙඩි හඬින් කොස්ගොඩ හා අවට ගම් ප්‍රදේශ භීතියෙන් ඇලලී ගියේ කිලෝමීටර් තුනක් පමණ ඇතුළත පැය භාගයක කාලයක් තුළ දිගහැරුණ ත්‍රාසජනක චිත්‍රපටියක දර්ශන පෙළ ගැන ඇසීමෙනි.   


වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කොස්ගොඩ යුදපිටිය අසල නි​ෙවසක පදිංචිව සිටි ජගමුණි මහින්ද රාජා ද සොයිසා මහතාය. කලක් බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරිකයකු ලෙස දිවිගෙවීය. මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ වැඩිමහල් පුතුවන 19 හැවිරිදි අයේෂ් ධනංජය හා බාලපුතු වන 13 හැවිරිදි දමිදු විශ්‍මික ද තුවක්කුකරුවන්ගේ වෙඩිවරුසාවට මැදිව අකල්හි දෙනෙත් පියාගත්තේ සසරේ පතාගෙන ආ ලෙසිනි.   


ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලෙන් පහවසර ශිෂ්‍යත්වය සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට ගිය විශ්මික අටවැනි වසරේ ඉගෙනුම ලැබූ අතර ඔහු නිදියහනේදීම මරු තුරුලට එක්විය. මහින්දරාජාගේ හා පුතුන් දෙදෙනාගේ අකල් වියෝවෙන් ප්‍රියංකා මෙලොව තනි වූවාය. ඇයට තිබූ එකම සැනසීම පවුලේ දෙවැනි පුතු පමණි.   


බෙන්තොට-හබුරුගල ගල්තුඩුවේ උපන් හෙන්ට්ලි ප්‍රියංකා හෙට්ටිආරච්චි කොස්ගොඩ මහින්ද රාජා ද සොයිසා සමඟ විවාහ වී යුදපිටිය ක්‍රීඩාපිටිය අසල නි​ෙවසක් තනා දිවි ගමන ආරම්භ කළේ‍ බලාපොරොත්තු රැසක් හිතේ දරා ගනිමිනි. ඉඩම් විකිණීම ඇතුළු ව්‍යාපාර රැසක නිරත වූ ඔවුන් දිනෙන් දින ඉදිරියට ගිය බව පවුලේ ඥාතීන් මෙන්ම ගම්වාසීහුද කියති. මහින්ද හා ප්‍රියංකා කැඳැල්ලට එක්ව සිටියේ පිරිමි දරුවන් තිදෙනෙක් පමණි. ‘‘මහින්ද රාජා’’ යන නම කියූවිට ඌරගහ-කොස්ගොඩ හා බලපිටියේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. අකල්හි සමුගෙන වේලාසනින් යන්නට සිදු වූ හේතුව ගැන දන්නේ ඔවුන්ම පමණක් යැයි සිතේ.   


‘‘බල්ලන් නොනවත්වාම බුරන ශබ්දය ඇසුණාම මම කිව්වා මහින්ද අයියේ බල්ලෝ බුරනවා කියා. එක දිගටම බල්ලන් බුරන විදියට මට තේරුණා ගෙදර ඉස්සරහ මිදුලේ කවුරු හරි ඉන්නවා කියලා. එහෙම කියලා මම ඉස්සරහ දොර අරින්න ගියා. මහින්ද අයියා කුස්සිය පැත්තට ගියා.   


මම දොර ඇරල බලනකොට දැක්කා ගෙයි ඉස්සරහ පඳුරුවලට මුවාවෙලා එබිකම් කරන කීප දෙනෙකු තුවක්කුත් තියනවා දැක්කා. මම ඉක්මනටම ගෙට ඇවිත් දොර වහන්න හදනකොට ඒ අය දොර වහන්න නොදී ගෙට ඇතුල් වුණා.   


එතකොට මහින්ද අයියත් සාලයේ හිටියා. උන් මහින්ද අයියට වෙඩි තිබ්බා. ඊට පස්සෙ ලොකු පුතයි දෙවැනි පුතයි නිදාගෙන හිටිය කාමරයට ගිහින් කළුවරේම දිගට හරහට වෙඩි තිබ්බා. පස්සේ උන් කෑම කාමරය පැත්තට යන කොට මම කෑගහලා කිව්වා ඒ පැත්තේ කවුරුත් නැහැ කියලා.   


මොකද මගේ බාල පුතා නිදාගෙන හිටියේ ඒ කාමරේ. ඒ කාමරයට ගිහින් වෙඩි තියල සාලයට ආපු උන් වෙඩි වැදිලා සාලේ වැටිල ඉඳපු මහින්ද අයියාගේ ඔළුවට වෙඩි තියල පිටවෙලා ගියා’’යි ප්‍රියංකා අප සමඟ කීවේ හඬා වැටෙමිනි.   
‘‘එක සිද්ධියකට බලපිටිය උසාවියේ නඩුවක් තිබුණා. ලබන මාසේ නවවැනිදා ඒ නඩුව කැඳවලා තිබුණා. මම බයෙන් හිටියේ. ඒත් මහින්ද අයියට නම් එහෙම බයක් තිබුණේ නැහැ’’ කියමින් ප්‍රියංකා හඬා වැටු​ෙණ් අවට සිටි අයගේ ද නෙතට කඳුළක් එක් කරමිනි.   


‘‘ඒ වෙලාවේ කඨින පෙරහරක් යන සද්දය ඇහුණා. එතකොට එළිවෙන පාන්දර තුනයි හතළිහත් පහළිස් පහත් අතර ඔරලෝසු කට්ට නතර වෙලා තිබුණේ.   


අනේ දෙයියනේ මගේ රත්තරං මහින්ද අයියා.... රත්තරං දරුවෝ දෙන්නා.... දැන් අපිත් ජීවත් වෙලා මොකටද....’’ කියමින් හඬා වැටෙන්නට වූවාය.   


මහින්දගේ දෙවැනි පුතා දිවි ගලවා ගත්තේ හාස්කමකින් මෙන් යැයි බොහෝ දෙනෙකු අප සමඟ කීය. මහින්දගේ ලොකු පුතා සමඟ නින්දට ගිය දෙවැනි පුතා බේරී ඇත්තේ ලොකු පුතාට යට වී සිටි නිසා බවද කියති. ඝාතන සිදුකර යතුරු පැදිවල නැගී යන තුවක්කුකරුවන් පිටුපසින් දිවයන දෙවැනි පුතු යතුරුපැදියක සිටි අයකුට කඩු පහරක් ගසා ඇති බව ද අපට දැන ගන්නට ලැබුණි. යතුරුපැදි හරවා ගන්නා තුවක්කුකරුවන් මහින්දගේ දෙවැනි පුතා දෙසට වෙඩි තැබූවද අසල මාන පඳුරුවලට පැන සැඟවීම නිසා දෙවැනි වරටත් දිවිගලවා ගැනීමට ඔහුට හැකිවිය.   


ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය මහින්දරාජා ආගමට, දහමට ළැදිව සාමකාමී ජීවිතයක් ගත කළ බවට ඥාතීන් හා හිතවතුන් කීපදෙනකු කීවේ ඊට උදාහරණ කීපයක් ද ගෙන හැරපාමිනි. පන්සල් ගොස් ආගමික කටයුතු කරන ලෙසත් ඉදිරියේ දී තමා මේ සියල්ල අතහැර ආරණ්‍යගත ජීවිතයකට යන බවටද ඔහු සිය සමීපතමයන්ට පවසා තිබුණි. ඔහු හෝ දරුවකු පාතාලයට සම්බන්ධ නැති බවද ඥාතීහු අවධාරණය කරති.   


මීට වසරකට පමණ ඉහත මහින්දගේ පුතකු සමඟ පාරේ සිදු වූ කතාබහක් ආරවුලක් බවට පත් වී මිනිමරා ගැනීම දක්වා දුරදිග ගොස් ඇති බව මේ ගැන පරීක්ෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කීය.   


එම පාරේ ආරවුලේ දෙවැනි පියවර වී ඇත්තේ දින කීපයකට පසු නිවසේ සිටි මහින්ද රාජා හා බිරිය කඩුවලින් කපා දැමීමය.... ඔවුන් දින ගණනක් රෝහල් ගතව ප්‍රතිකාර ගෙන ඇත.   


ඒ ගැන කොස්ගොඩ ලොක්කා නමැත්තා ඇතුළු කීපදෙනකුට චෝදනාවේ ඇඟිල්ල දිගු කෙරුණ අතර එය බලපිටිය අධිකරණය දක්වා ගිය බව මෙහිදී අපට දැනගන්නට ලැබුණි.   


මේ සිද්ධිවලට කිසිදු සම්බන්ධයක් නැති බැව් කියන අයකුට උෟරගහදී පහර දී ඇති බවත් මසුන් මැරීමට මුහුදු ගොස් දින ගණනාවකට පසු නි​ෙවසට ආ ලොක්කාගේ සහෝදරයකු පහරකෑමට ලක්ව ඇති බවද කියති. අවසානයේ දී අසත්‍ය චෝදනාවකට හිර ගෙයි තපින්නට තම සහෝදරයාට සිදුවීම නිසා පාතාලයට සම්බන්ධ බව කියන ලෝක්කා සිටියේ කෝපයෙන් බව කියති.   


අලුත්ගම - වැලිපැන්නේ දී ලොක්කා ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් එල්ල කළ වෙඩි වරුෂාවකින් මරු මුවට පත්වේ. එහිදී ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු ද වෙඩි වැදී තුවාල ලබා රෝහල්ගත වන්නේය.   


ලොක්කාගේ මරණය ගැන අපරාධ හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන කොස්ගොඩ තාරක සිටියේ දැඩි කෝපයෙන් බවද දැනගන්නට ලැබුණි. කොස්ගොඩ ලොක්කා හා තාරක සමීපතම ඥාතීන් බවද ගම්මු කියති.   
පාතාලයට සම්බන්ධ බව කියන ලොක්කාගේ මරණයට පළිගැනීම සඳහා මහින්ද හා පුතුන් දෙදෙනා මරා දමා මෙම අපරාධය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.   


දකුණේ පාතාලයට සම්බන්ධ බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ කල්ලිය හා ඔහුට ප්‍රතිවාදී පාතාල කල්ලියක නායකයා ලෙස සැලකෙන කොස්ගොඩ සුජීව සොයිසා නොහොත් කොස්ගොඩ සුදුගේ කල්ලිය අතර කාලයක් තිස්සේ පවතින ගැටුමක් මෙයට හේතු වී ඇති බවද පරීක්ෂණවලින් හෙළි වී ඇති බැව් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.   


කොස්ගොඩ සුජී ඔහුගේ ගෝලයන් කණ්ඩායමක් යොදවා කොස්ගොඩ ලොක්කා ඝාතනය කර ඔහුගේ ගෝලයන් දෙදෙනාට වෙඩි තැබූ බවට සැකකර ඇති කොස්ගොඩ තාරක එයට පළිගැනීමක් ලෙස සුජීගේ බාප්පා සහ පුතුන් දෙදෙනාට වෙඩිතබා ඝාතනය කර සුජීගේ කල්ලියේ අයකු බැව් කියන අරක්කැමියකු වූ කපිලට ද වෙඩි තබා මරා දමා ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බැව් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.   


කොස්ගොඩ තාරක ඇතුළු ඔහුගේ ගෝලයන් තිදෙනකු සමඟ පිස්තෝල හා ටී පනස්හය ගිනි අවි රැගෙන කොස්ගොඩ - කුරුඳුගම්පියසේ රංගගේ නි​ෙවසට ගොස් වෙඩි තබා ඇති බවත් එම වෙඩි ප්‍රහාරයෙන් රංගගේ පුතා වූ 15 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලැබීමෙන් පසුව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි. මේ ගැන තොරතුරු දැනගැනීමට සුනාමි ගම්මානයක් වන කුරුඳුගම්පියසේ රංගගේ නි​ෙවසට අප ගිය ද එම නිවසේ ජනෙල් දොරවල් වසා දමා තිබුණි.   


ඊළඟට අප ගමන් ගත්තේ කොස්ගොඩ මැණික් ගම්මානයේ කපිලගේ නි​ෙවසටය. තවත් සුනාමි ගමක් වූ මැණික්ගම කපිලගේ කුඩා නිවස ද වසා දමා තිබිණි. එහිදී ලද තොරතුරු අනුව කපිලරත්න පෙරේරාගේ දේහය තබා තිබූ වැල්ලබඩට අප ගියේ කපිල ගැන තොරතුරු සොයා ගැනීමේ අදහසිනි.   


අනුරාධපුරයේ උපන් කපිල විවාහයෙන් පසු වැල්ලබඩ පදිංචි වූ අතර සුනාමියෙන් පසු මැණික්ගමේ සුනාමි නිවසක පදිංචියට ආවේය.   


මියගිය කපිලගේ සිරුර තබා ඇති නි​ෙවසේ පුටුවකට බරවී හඬා වැටෙන බිරිඳ චන්ද්‍රිකා අසල ඔවුනගේ එකම දියණිය වූ 13 හැවිරිදි පාසල් දැරිය ද සිය පියාගේ වියෝවෙන් මහත් වූ කම්පාවට පත්ව සිටින්නීය.   


‘‘මහත්තයාට මරණ තර්ජන තිබුණා. මේ තර්ජන නිසා අවුරුදු හතරක්ම එයා ගෙදර ආවේ නැහැ. මහත්තයා ගෙදර ඇවිත් දවස් දහයක් විතර ඇති.   


පුතා වැඩට ගිහින්. මමයි මහත්තයයි නිදාගෙන හිටියේ. දන්නේම නැහැ දොර කඩාගෙන ඇවිත් ඇඳේ නිදා සිටි මහත්තයාට වෙඩි තියන කොට ඒ සද්දයට මම ඇහැරුණේ. එයා ඇහුවා. මට වෙඩි තියන්න උඹල කවුද කියලා. මූ මැරිලා නැහැ. කියලා ආපහු එයාට වෙඩි තිබ්බා. වෙඩි සද්දයට අනික් කාමරේ නිදාගෙන හිටි දුව ඇහැරිලා ඇවිත් ‘‘මගේ තාත්තට වෙඩි තියන්න එපා කියල කෑගහල කිව්වා’’යැයි කපිලගේ බිරිඳ වන චන්ද්‍රිකා සිල්වා කීවේ කඳුළු පිරි දෙනෙතිණි.   


මෙම සිව් පුද්ගල ඝාතනය ගැන ආරංචි වූ වහාම කොස්ගොඩ පොලිසිය එම ස්ථානවලට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර ඌරගස්මංහන්දිය පොලිසිය ද ඊට සහයට එක්විය. ඇල්පිටිය සොකෝ නිලධාරීන් මෙන්ම ‘‘තාරා’’ නමැති පොලිස් නිල සුනඛයා යොදවන ලද්දේ සැකකරුවන් ගැන තොරතුරු හෙළිදරව් කර ගැනීමටය.  


අප කළ සංචාරයේදී අප සමඟ කතාබහ කළ අය කිව් කරුණක් මෙහි සටහන් කළ යුතුය.  
මේ ප්‍රදේශවල සිදු වෙන මේ අපරාධවලට නීතිය සාමය ආරක්ෂා කරන්න ආ පොලිසිවල හිටපු ලොක්කෝ දෙතුන් දෙනෙක් වගේම ඊට උදව්පදව් කරන පොලිස් පොඩ්ඩෝ කීපදෙනෙකුත් වගකියන්න ඕනෑ යැයි ඔවුන් කීවේ කේන්තියෙනි.  


ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුවගේ මගපෙන්වීම යටතේ පොලිසියේ සහයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එක්වී ඇත්තේ සැකකරුවන් කොටුකර ගැනීමටය. ඊට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවද, පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප සමඟ කීය.  


පසුගිය කාලයේ මේ ප්‍රදේශ පොලිස් වසම් කීපයක් පාලනය කළ ඇතැම් පොලිස් ලොක්කන්ගේ ජරා වැඩ ගැන ප්‍රදේශවාසීන් පමණක් නොව පොලිස් නිලධාරීන් ද, සිටිනුයේ කලකිරීමෙනි. බලවත් අප්‍රසාදයෙනි. ඌරගහ, කොස්ගොඩ, අහුන්ගල්ල, අම්බලන්ගොඩ අප කළ සංචාරයේදී මේ බැව් දැනගැනීමට ලැබිණි.  


විශේෂයෙන්ම කොස්ගොඩ සිව් පුද්ගල ඝාතන සිදු වූ ප්‍රදේශවල ජනතාව තවමත් සිටිනුයේ ඉමහත් භීතියෙනි. බොහෝ දෙනකු අදහස් දැක්වූයේ බියෙනි.  


පැය කිහිපයක් අප සිටියේ චිකාගෝවේ යැයි සිතේ...... පාතාලයේ කෙරුම්වලින් දකුණේ බොහෝ ප්‍රදේශ චිකාගෝ මට්ටමට වැටී තිබේ.  


කොස්ගොඩ සිව් පුද්ගල ඝාතන සිදුවී දින තුනක් ගතවෙද්දී 31දා රාත්‍රී 7.30ට පමණ අම්බලන්ගොඩ බටපොල දී කොස්ගොඩ තාරකගේ මාමාට කුඩා දරුවන් තිදෙනාට හා තවත් පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර යතුරුපැදියකින් පලායන්නේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක මෙහෙයවීමෙන් බව පොලිසිය කියයි.  


මෙම ප්‍රහාරය කොස්ගොඩ සුජීගේ ගෝලබාලයන් කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.  


දෙපැත්තේම මිනීමරුවන්, කොටුකර ගැනීමට කොස්ගොඩ පමණක් නොව පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් කණ්ඩායම් රැසක් දකුණට පැමිණ සිටිති.  


කොස්ගොඩ හා බටපොල වෙඩි තැබීම් දෙකේම සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද බුද්ධි අංශ කියයි.  


දකුණම භීතියට හා ත්‍රාසයට පත්කරමින් දකුණම ගිනියම් කරන දකුණේ පාතාලය නිසා දකුණේ ජනතාව ගත කරනුයේ ඉමහත් බියෙනි, සැකයෙනි. කොයි මොහොතක කුමන තැනක ඊළඟ මොහොතේ වෙඩි පත්තුවන්නේදැයි කිවහැක්කේ රටම කලඹන දකුණේ පාතාලයට පමණි. පාතාල භීෂණයෙන් වෙව්ලන දකුණෙන් පිටවීමට දකුණු අධිවේගයට අප පිවිසියේ වැහි අන්ධකාරය මැදිනි.  

 

සටහන සහ ඡායාරූප
විශේෂ වාර්තාකරුවෙකු විසිනි