පර්පචුවල් සල්ලි මිලියනයක් ගත් මන්ත්‍රී කවුද ?


 

අන්තිමට අපිට වුණේ එළුවගේ මොකක්ද වැටෙනකම් උගේ පස්සෙන් ගිය නරියාට වෙච්ච දේ තමයි.   


බඩුත් නැහැ...............   
හොරුත් නැහැ..................   
හොරකම් කරපු සල්ලිත් නැහැ................   


“ගිලී යන මේ රට ගිලෙන්න ඉඩ නොදී බේරා ගන්නේමැයි” සපථ කර පොරොන්දු වෙමින් පැමිණි උත්තමයන් ආර්ථිකය නමැති නැවේ හිල් වැසීමට ලෑලිවලට ගැසීමට තිබූ ඇණ ටිකත් අරං පැන්නා සේය.   


හොරුත් නැත................   
බඩුත් නැත.......................   


බැඳුම්කර කොමිසම එහි කටයුතු ආරම්භ කරන විටත් බොහෝ දෙනෙක් කීවේ මේ කොමිසමේ වාර්තාවත් මේ කොමිසම ගැන හොයන්න මීට පෙර නීතිඥවරයෙකුගේ මූලිකත්වයෙන් පත් කළ පිටිපන කමිටුවේ වාර්තාව වගේම කියාය. ඒත් ඒක එහෙම වුණේ නැත.   


කිසිදු හොරකමක් සිදුවී නොමැති බවට ඇතැම් කොමිටි දුන් තීන්දු කෑලි කෑලිවලට ඉරී විසිරී උඩු සුළඟේ ගසාගෙන යෑමට පටන් ගෙන ඇත්තේ හොරා කෑ බව කියන බැඳුම්කරේ මුදල්වලින් කුට්ටි ගසා කෑ අය ගැන ටිකින් ටික තොරතුරු එළියට එද්දීය.   


කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ.......... මේ හැර වෙන කුමක් කියන්නද?   


මහජන සේවකයින් බව කියාගෙන ඇළ මැද්දේ ගෙදරට පැමිණෙන උත්තමයින්ට පොලිස් නිලධාරීන් දෙන්නේ ඔවුන්ගේ ආරක්‍ෂාවටය. ඒත් ඇළ මැද්දේ ගෙදර උත්තමයෝ ඒ පොලිස් නිලධාරීන් යොදාගන්නේ කඩේ යැවීමටය, බල්ලන් නෑවීමටය, වළං සේදීමටය, අලුත්ම ක්‍රමය වන්නේ සැක සහිත චෙක් පත් මාරු කරවා ගැනීමටය.   


උගුරට හොරා බෙහෙත් කෑමට නොහැකිය. එහෙම තියෙද්දී ආරක්‍ෂකයා බැංකු යවා ගැලවී යෑමට නොහැක. මොකද චෙක් පතේ ආරක්‍ෂකයාගේ අත්සන ඇති නිසාය. ඇත්තටම එම ආරක්‍ෂයා ‘බොඩි ගාඩ්ද’? නැත්නම් බැංකු ගාඩ්ද? යන ප්‍රශ්නය නිතැතින් මතු වේ.   


මේ කතා සියල්ල මතුවූයේ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී බැඳුම්කර වංචාවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම ඈඳුණු සිද්ධිය උසාවියේ දිග හැරුණු අවස්ථාවේදී හෙළි වුණු වැදගත් මහජන සේවකයින්, ප්‍රභූවරුන් නිසාය.   


පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් මන්ත්‍රීවරයකුට දුන් චෙක් පතක් එම මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා විසින් බැංකුවකින් මාරු කොට රුපියල් මිලියනයක මුදලක් බැංකුවේ රථගාලේ දී මන්ත්‍රීවරයාට දුන් බව එම ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇති බව මෙම සිද්ධියට අදාළ සිද්ධිය අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ හෙළි කළේය.   


මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කර තිබූ අතර ආරක්‍ෂක නිලධාරියා විසින් මාරු කොට බැංකු රථගාලේ දී රුපියල් මිලියනයක මුදලක් ලබා දුන් මන්ත්‍රීවරයා නම ගම ඇතුළු තොරතුරු නඩු ගොනුවට ඇතුළත් කර තිබුණත් විවෘත අධිකරණයේ දී එම මන්ත්‍රීවරයාගේ නම හෙළි නොකිරීමට යසන්ත කෝදාගොඩ මහතා පරිස්සම් වූයේ අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේ දී නොපවසන බව පවසමිනි.   


රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේ දී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකරන ලද බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බව අධිකරණයේ දී හෙළි කෙරිණි.   


‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් මන්ත්‍රීවරයකුට දුන් චෙක් පත ගැන හෙළි වෙද්දී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් දුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරුකොට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට භාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයකු රහස් පොලිසිය හමුවේ පිළිගෙන ඇති බවද උසාවිය හමුවේ හෙළි කළේය.   


ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගම ද ඒවායේ මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරද්දී රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇති අතර එලෙස චෙක් පත් ලබාදීමට අමතරව කුරියර් සේවයක් මාර්ගයෙන් සමහර පුද්ගලයින්ට මුදල් දීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අධිකරණය හමුවේ හෙළි විය.   


පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ‘සර්ටීස් ලංකා’ නමැති කුරියර් සේවාව ඔස්සේ එක එක පුද්ගලයින්ට චෙක් පත් මඟින් මුදල් ලබා දී ඇති බව රහස් පොලිසිය සිදුකළ පරීක්‍ෂණවල දී හෙළි වී තිබූ අතර පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවයට ලබාදුන් චෙක්පත් ඔවුන් විසින් මාරු කොට එම මුදල් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම දැනුම් දුන් තුන් වැනි පාර්ශ්වයන්ට ලබාදී ඇති බව ද අධිකරණය හමුවේ හෙළි විය.   


කුඩු කෑ බොහෝ දෙනෙක් කිසිවක් නොදන්නා සේ සිටියත් ඔවුන් කුඩු කෑ අය බව දන්නා පිරිසක් ද සිටිති. එලෙස දන්නා අය හෙළි වූ දාට කුමක් වේවිද? ‘මොකක් වෙන්නද? ස්ටේජ් එක උඩට නැගලා සරම ගැලෙව්වා වාගේ තමයි’ කතාවට අලගු තබමින් ළඟ සිටි අයෙක් පැවසීය.   


‘සර්ටීස් ලංකා’ කුරියර් සේවය ඔස්සේ මුදල් ලබාදුන් තුන් වැනි පාර්ශ්වකරුවන් කවුරුන්දැයි හෙළිකර ගැනීම සඳහා එම තුන් වැනි පාර්ශ්වකරුවන් පිළිබඳ කරුණු අඩංගු සම්පූර්ණ වාර්තාවක් රහස් පොලිසියට ලබාදෙන ලෙස ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවයට නියම කරන ලෙස යසන්ත කෝදාගොඩ මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවයේ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ ගැනීමට නීති ප්‍රතිපාදන ඇතත් එසේ නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.   


තත්ත්වය පැහැදිලි කළ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවය රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමේ පොරොන්දුව මත කටයුතු කරන ආයතනයක් බව මෙන්ම නීති ප්‍රතිපාදන යටතේ ඔවුහු රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව හෙළි කරනු ලැබුවහොත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම රහස්‍ය භාවය කඩකිරීම සම්බන්ධයෙන් මතු දිනයක ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති බව පෙන්වා දුන්නේය.   


කෙසේ නමුත් අධිකරණ නියෝගයකට අනුව අදාළ තොරතුරු හෙළි කරනු ලැබුවහොත් පර්පෙචුවෙල් ටේ‍්‍රෂරීස් සමාගමට ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවයට එරෙහිව රහස්‍ය භාවය කඩකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා 2015 ජනවාරී මස පළමු වැනිදාත් 2018 පෙබරවාරි මස 02 වැනිදාත් අතර කාලයේ දී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ දැනුම් දීම මත මුදල් ලබාදුන් තුන් වැනි පාර්ශ්වකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ කරුණු අඩංගු සම්පූර්ණ වාර්තාවක් රහස් පොලිසියට ලබාදෙන ලෙස ‘සර්ටීස් ලංකා’ කුරියර් සේවයට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.   
කරුණු තේරුම් ගත් මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලේ ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දුන්නාය. මේ කරුණු හෙළිවූ දාට ස්ටේජ් උඩට නැග සරොම් ගලවා දැමීමට සිදුවේවිද?   


බැඳුම්කර සිද්ධියට අදාළ කොමිසමේදී ‘හුණු බිජු’ ලොසින්ජර් මෝල්වලින් සමහර කළු සල්ලි සුදු කරමින් සිටි ඇතැම් නිලධාරීන් ගලවා දැමීමට තරම් හෝ වෙන ඇඳුම් ඔවුන් ඇඳගෙන සිටියාදැයි ප්‍රශ්න කිරීමට සිතෙන තරම් කරුණු කාරණා හෙළි වූ අතර එම සිද්ධියට අදාළවම අධිකරණයේ පැවැත්වෙන පරීක්‍ෂණවල දී තව මොනවා මොනවා හෙළි වේවිද?   


පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මුදල් දුන් පුද්ගලයින් කවුරුන්ද යන්න හෙළි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන වෝහාරික පරීක්‍ෂණ සඳහා අවශ්‍ය දත්ත සමග ‘ස්විප්ට් මැසේජ් කොපි’ අඩංගු සම්පූර්ණ වාර්තාවන් රහස් පොලිසියට ලබාදෙන ලෙස පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට නියම විය. එලෙස නියම වූවේත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කෝදාගොඩ මහතාගේ ඉල්ලීම පරිදිය.   


26 වැනි සෙනසුරාදා පෙරවරු 9.30ට මෙම සම්පූර්ණ වාර්තාව රහස් පොලිසියට භාරදෙන ලෙස ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට නියම වූ අතර පර්පෙචුවෙල් ​ෙට්‍රෂරීස් සමාගම ද්වීතීයික වෙළෙඳ පොළේ සිදුකළ බැඳුම්කර අලෙවි කටයුතු සම්බන්ධයෙන් පරිගණක මෘදුකාංගවල අඩංගු දත්ත සියල්ල රහස් පොලිසියට ලබාදෙන ලෙස එම පරිගණක මෘදුකාංග පවත්වාගෙන යන ‘ලංකා ෆයිනෑන්ෂල් සර්විස් පියරෝ’ සමාගමට ද නියම කෙරිණ.   


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය ආරම්භ කොට ඇති පරීක්‍ෂණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මේ බව දැනුම් දුන්නේය.   


බැඳුම්කර වංචා කිරීමේ සිද්ධියේත් ඉස්තාලය වසා දමන විටත් අශ්වයා සිංගප්පූරුවට පැන ගත්තේය. ඔහු පිළිබඳ සොයන විට ඔහු පදිංචි ලිපිනයේ සිටින බව වරක් සිංගප්පූරු ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම් දුන්න ද පසු අවස්ථාවක අනාවරණය වූවේ ඔහු එම ලිපිනයෙන් පැන ගොස් ඇති බවකි. නමුත් අලුත්ම වාර්තාවන්ට අනුව එම අශ්වයා යළිත් සිංගප්පූරුවේ ඉස්තාලයටම පැමිණ ඇති බව යළිත් අනාවරණය විය.   


විදේශිකයෙකුට මෙරට තනතුරු භාර කිරීම නරියට කුකුල්ලු බාර කිරීමක් වැනිය. අන්තිමට කුකුල්ලුත් නැත, නරියත් නැත. ඒත් දැන් එසේ නොවන බවයි උසාවිය හමුවේ හෙළි වූයේ. මේ වන විට සිංගප්පුරුවේ සිටින මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම නීතිමය භාෂාවෙන් කියන්නේ නම් උදර්පනය කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කරුණු මේ වන විටත් ආරම්භ වී ඇති බවයි.   


තත්ත්වය එසේ වුවත් නීතිපතිවරයා මීට පෙර අවධාරණය කළ පරිදි හොරකම් කරන ලදැයි කියන මුදල යළි රටට ලබාගැනීමට නුදුරේදීම කටයුතු කරනු ලැබුවහොත් ජනතා දෝෂාරෝපණ එක ඇසිල්ලේ නවතිනු ඇත. ඉන් රට සුඛිත මුදිත වීම කෙසේ වෙතත් පිටකොටුවේ කයි කරත්තකාරයින්ගේ තත්ත්වයට වැටී සිටින ජනතාවට යම් තරමකින් හෝ අස්වැසිල්ලක් ලැබෙනු ඇත. 

 

 

 

 

සටහන
 මනෝප්‍රිය ගුණසේකර