පක්ෂයෙන් විනය පියවර ගත්තත් මන්ත්‍රීන්ට අධිකරණයට යා හැකියි


ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

(දයාසීලි ලියනගේ)   

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව රජය සමග ඡන්දය පාවිච්චි කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගනු ලැබුවත් එම පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට අද‌ාළ මන්ත්‍රීවරුන්ට අවස්ථාව සැලසී තිබෙන බව අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක හා ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කීය.   

අද‌ාළ මන්ත්‍රීවරුන් පිළිබඳව හරියාකාරව විනය පරික්ෂණයක් පවත්වා තිබේ ද යන්න හා ඔවුන් හෘද සාක්ෂියට එකඟව රටේ ජනතාවගේ යහපතට ගත් තීරණයක් ද යන්න සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දෙනු ඇතැයි ද ඔහු කීය.   


මීට පෙර අවස්ථාවක මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් නෙරපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දී ඇති අතර එහිදී හෘද සාක්ෂියට එකඟව අද‌ාළ මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවට අධිකරණය දුන් තීන්දුවක් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.   


විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ද තුනෙන් දෙකක ඡන්දයක් හිමිවී තිබීම විශේෂයක් බව ද ඔහු කීය.