නොනවතින අලි-ඇතුන් සංහාරය


 

වසර ගෙවී අවසන් වෙමින් යද්දී සද්දන්ත හස්තිරාජයන් සිව්දෙනෙක්ද සිය ජීවිත අවසන් කර ගොස් ඇතැයි කියන ඛේදනීය පුවත් කිහිපයක් අපට අසන්නට දකින්නට ලැබුණි. පිළිවෙළින් ගල්ගමුව දළ පූට්ටුවා තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා සහ තනි දළයා මෙසේ මියගොස් තිබෙන අතර කතිර දළ ඇතා සහ මහසෙන් දළ ඇතා මේ වනවිට අතුරැදන්ව ඇතැයි වාර්තා වේ.   


තිරසර සංවර්ධන හා වනජීවී සංරක්ෂණභාර අමාත්‍යංශය වාර්තා කරන ආකාරයට අතුරුදහන්ව ඇතැයි සමාජ ජාල මාධ්‍ය මගින් ප්‍රකාශ කරන දීඝ ජන්තු සහ වේවැල් දළයා යන ඇතුන් කිසිදු උපද්‍රවයකින් තොරව ජීවත්වන බව වාර්තා වේ.   


බහ තෝරන අවධියේ පටන් “අලියා”, “ඇතා” යන වචන අපට අතිශය සමීපය. “අ” යන්නෙන් ආරම්භවෙන හෝඩි පොතේ “අ” යනු අකුරින් අම්මා කියූ පසු ඊළඟට බොහෝ විට “අ” යන්න යොදාගෙන කියැවෙන වචන අතර “අලියා” යන්න නිබඳව සටහන් වේ. ඊළඟට හෝඩි පොතේ ඇතාගේ රුවද සහිතව යෙදී ඇත. කඩොල් ඇතා දුටු ගැමුණු රජුගේ අභිමානය තවත් ප්‍රතාපවත් කිරීමට හේතු වූවකි. පනාමුරේ ඇතා, දළදා “මාළිගාවේ රාජා” ඇතා වැනි ඇතුන් අපේ මතකයෙන් නොමියෙන්නේය.   


මිනිසුන් හා අලි ඇතුන් අතර සබඳතාවට වසර පන්දහසකටත් වඩා එපිටට දිව යන්නක් බව කියැවේ. එකී මිත්‍ර සබඳතාව බිඳ වැටීමට හේතු වූයේ කුමක්ද? අලි ඇතුන් මරා දැමීමට තරම් මිනිසුන් පෙළඹුනේ මන්ද? අලි ඇතුන්ට හිරිහැර කරන මිනිසුන්ට නීතියෙන් ලැබෙන දඬුවම කුමක්ද? ඒ සම්බන්ධයෙන් දැනට පවතින නීති ප්‍රමාණවත්ද? යනාදිය සම්බන්ධයෙන් අප විමසුමක යෙදුනෙමු.  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සපයන වාර්තාවලට අනුව වසරේ ගෙවී ගිය මාස දොළහක කාලසීමාව තුළ අලි මිනිස් ගැටුම් හා වෙනත් විවිධ හේතු මත මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව දෙසිය හයක ප්‍රමාණයකි. අලි මිනිස් ගැටුම් හේතුවෙන් මිය ගිය මිනිසුන් සංඛ්‍යාව හැත්තෑ හතරකි. වන සතුන්ගේ ආරක්ෂාවට පවතින නීති ප්‍රමාණවත් නැත්ද? ඒ සම්බන්ධයෙන් රජයට පැවරෙන වගකීම නිසි ආකාරයට ඉටු නොවෙන්නේද? යන අදාළ කරුණු සම්බන්ධයෙන් අප වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරිය බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළේය.   


“වන ජීවී සංරක්ෂණය කියන එක අපට පැවරෙන කාර්ය භාරයක් බව අවිවාදිතයි. සතුන් බලා කියා ගැනීම අපට පැවරෙනවා. අපට පැවරෙන වගකීම් ප්‍රමාණය අතිමහත් බව මෙහිලා පළමුවෙන් සඳහන් කළ යුතුයි. සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට දොළහක් සම්බන්ධ පූර්ණ වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙනවා.   


අලි ඇතුන් දඩයම ක්‍රමවේද හතරකින් සිදුවෙනවා. හක්කපටස් තැබීම, වෙඩි තැබීම, විදුලි රැහැන්වලට හසු කිරීම ආදිය එයට අයත් වෙනවා. මෙමගින් වැඩිපුරම විනාශ වෙන්නේ පිරිමි සතුන් බව අප හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් පරිමි සතුන් කණ්ඩායම් වශයෙන් සංචාරයේ නොයෙදීම නිසා ඔවුන්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. අලි ඇතුන් විනාශයෙන් සියයට පනහක් වගකීම මිනිසුන් සිදුකරන අනතුරු මගින් සිදුවන බව අප හඳුනාගෙන තිබෙනවා.   


පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී අලි ඇතුන් ගහනය අඩු බව අප පෙන්වා දිය යුතුයි. විශේෂයෙන් අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට ​ෙගන්වා ගැනීමට සංරක්ෂණයට වැඩ පිළිවෙලක් යෙදීම නිසා වනජීවින් යම් ආකාරයකින් සුරක්ෂිත කර ගැනීමට අපට හැකිවී තිබෙනවා.   


එකම ප්‍රදේශයක එකම කාල සීමාවක ඇතුන් මියයෑම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව යන ආයතන මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව පැවැසිය හැකියි.   


වසර දෙදහස් දහය සංගණනයට අනුව අපේ රටේ ඇතුන් එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් සිටින බව හඳුනාගෙන තිබුණා. අලි ඇතුන් සංගණනයක් ඉදිරි දෙදහස් දහ අට වර්ෂයේදී සිදුවීමට නියමිතව තිබෙනවා. පවතින නීතිමය තත්ත්වයන්ට අනුව වන සතුන් සුරක්ෂිත කිරීම සඳහා හැකි උපරිම කාර්යභාරය අප විසින් සිදුකරනු ලබනවා. ඒ සඳහා නිලධාරි පුරප්පාඩු ආදිය ඇතුළු යම් යම් ආකාරයේ ගැටලු තිබුණත් ඒවා ක්‍රමානුකූලව සමථයකට පත්කරමින් අපගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට අප කැපවී සිටින බව සඳහන් කළ යුතුයි. සූරිය බණ්ඩාර මහතා අප සමඟ සඳහන් කළේය.   


වනජීවීන්ගේ සුරක්ෂිතතාවයට පැවරෙන වගකීම ඉටු කරනු ලබන රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ද්විතික තෘතිය හා ප්‍රාථමික අංශවල සේවය සඳහා දැනට සිටින නිලධාරින් හා සේවක සංඛ්‍යාව එක්දහස් හත්සිය අනූඅටක් වන අතර අවමය දෙදහස් තුන්සියයකවත් සේවක සංඛ්‍යාවක් අදාළ දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බව අපට අනාවරණය විය. රටේ පැවැත්මට වගකිව යුතු ආයතන සඳහා කුඩම්මාගේ සැළකිලි දැක්වීම් ආකාරයේ යමක් සිදුවන්නේද යන්න අපට ද මතුවන ගැටලුවකි.   


වයඹ මූළික කරගත් වනජීවී කලාප මූලික කරගනිමින් සති දෙකක කාල සීමාව තුළ ඇතුන් තිදෙනෙක් මියයෑම ගැටලුකාරී තත්ත්වයකි. අපේ රට වනජීවීන් මුහුදු මගින් මැද පෙරදිග රටකට රැගෙන යෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තවත් අවස්ථාවක අපට වාර්තා විය. මෙයට මසකට පමණ පෙර කතරගම දී කුඩා ඇත් පැටවෙක් මහමඟ අතරමං වී සිටිය දී වනජීවී නිලධාරින්ට හමුවී ඇත.   
මවක් හෝ වෙනත් අලින් කණ්ඩායමක් නොමැතිව මෙසේ එක් පැටවෙක් පමණක් හමුවීමට හේතුව කුමක්ද? යන්න තවත් ආකාරයක ගැටලුවකි. ඇත් මව මරා පැටවුන් ගෙනයෑමේ ජාවාරමක් ඉකුත් සමයේ ක්‍රියාත්මක වූ බවට වාර්තා විය. තවත් එක් අවස්ථාවක අලුත උපන් ඇත් පැටවා මවගේ ග්‍රහණයේ ගලවාගෙන රැගෙන ඒමට උත්සහ කළ ජාවාරම්කරුවන් පිරිසක් තම බිළිඳා හොඬවැලෙන් ග්‍රහණය කරගෙන සිටින අවස්ථාවක හොඬවැල කපා දමා ඇත් පැටවා රැගෙන ගොස් අැතැයි කියන කතා පුවතක් ද අසන්නට ලැබුණි.   
අපේ රටේ පූජනීය ස්ථානවල සහ අැතැම් ප්‍රභූ නිවෙස්වල හීලෑ අලි ඇතුන් ලෙස ඇති කරන සතුන් ඒ ඒ අදාළ පුද්ගලයන්ට ලැබුණේ කෙසේද යන්න ගැටලුකාරී තත්ත්වයකි.   


වන ගහණය අඩුවීම නිසා කැලෑ ප්‍රදේශ අහිමිව මිනිස් වාසභූමි ප්‍රදේශවල සමීපවීම අලි ඇතුන්ගේ විනාශයට ප්‍රමුඛ හේතු සාධකයකි. අලි ඇතුන් විනාශයට හේතුවන සාධක මැඩ පැවැත්වීම සඳහා ප්‍රජාව මූලික කරගත් ආරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍යය. උදාහරණයක් ලෙස දැක්වුවහොත් දෙහි වැනි ශාකයක් ඇති ප්‍රදේශයක ගැවසීමට අලි ඇතුන් අකමැතිය. දෙහි ගස් වැටියක් වැනි තැනක්. තල ගසක් සිටුවීම ඉනි වැටක් (ශක්තිමත් වැටක් වෙනුවට සෙළවෙන වැටක් ඉදිකිරීම්) වැනි කටයුතු අතීතයේ පටන්ම අපගේ ජන සමාජය ඇතුළත දකින්ට ලැබෙන ලක්ෂණය.   

අලි සහ ඇතුන් වෙනස් වෙන්නේ කෙසේද? අලියකුට වඩා ඇතෙකුට හිමි වටිනාකම කුමක්ද? කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යාව හා පරිසර විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් කොටගම මහතා සම්බන්ධයෙන් අප සමඟ මෙසේ අදහස් දැක්වීය.   


අලියා සහ ඇතා අතර වෙනස ඇතා යනු දළ සහිත සත්වයෙක් වීමයි. එසේ නොවේ නම් පොදුවේ මේ දෙදෙනාම අලියා නමැති විශේෂයට අයත් වෙනවා. එම ඇතුන් අතරින් ඉතා සුළුතරයකට ගජමුතු තිබිය හැකියි. ගජමුතු ඉතා වටිනාකමක් සහිත එකක් යැයි විද්‍යාත්මකව කිසිදු පිළිගැනීමක් කොතැනක හෝ සඳහන් වෙන්නේ නැහැ.


ඒ සියල්ල මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ලද සංකල්ප මත පදනම් වූ ඒවා බව අපට සඳහන් කළ හැකියි. දළ එහා මෙහා වීමෙන් දළයක කැබැල්ලක් කැඩීම හෝ වෙනත් යම් ශරීරගත රසායනිකයන් මත ඇතුන් තුළ ගජමුතු හට ගැනීමක් සිදුවෙනවා.   


ගජමුතුවකින් එම සතාට හෝ අපට ඇති කිසිම වටිනාකමක් නැහැ. අප්‍රිකානු කලාපයේ ගැහැණු සහ පිරිමි වෙනසක් නැතිව සෑම අලියකුටම දළ තිබෙනවා. අාසියාවේ අලින්ගෙන් දළ තිබෙන්නේ පිරිමි සතුන්ට පමණයි. ආසියානු කලාපයේ ඇතුන් සිටින්නේ අසූ දහසක පමණ සංඛ්‍යාවක්. මේ හේතුව නිසා ඔවුන් සුරක්ෂිත කළ යුතුය යන මතයක් පවතිනවා. නමුත් අප්‍රිකාවේ මිලියනයක් පමණ ප්‍රමාණයක් මෙම සතුන් වාසය කරනවා. ප්‍රජනන අවශ්‍යතා ආහාරපාන අවශ්‍යතා හා වාසභූමි යන සාධක මත අලි ඇතුන්ගේ ගහනය ස්වභාවිකව පාලනය වෙනවා. ඒ හැර අලි ඇතුන් විනාශ වෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ආදී සාධකමත පදනම් වූ ක්‍රියාවන් මඟිනුයි. මේ වකවානුව වනවිට අලි ඇතුන් ගහනය ප්‍රශස්ත මට්ටමක දැකිය හැකි වෙන්නේ නැහැ. කෘතීමව ගාල් කරන සතුන් අතින් ගහනය වැඩිකර ගැනීමේ ක්‍රමවේද ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙනවා. නමුත් අපේ රට තුළ එවැන්නක් දක්නට ලැබෙන්නේ නැහැ.” යනුවෙන් මහාචාර්යවරය සඳහන් කළේය.   


අලි ඇතුන් දඩයම සම්බන්ධ මෙරට ක්‍රියාත්මක නීතිමය තත්ත්වය කෙබඳුද? නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය:   


ලංකාවේ අලි ඇතුන් පවතිනා නීතිය මගින් සර්වසම්පූර්ණ ලෙස ආරක්ෂා කර තිබෙනවා. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනතේ අංක දොළහ සිට විසි හතර දක්වා නෛතික විධි විධාන යොදවා තිබෙනවා. අලි ඇතුන් දඩයම එම පනතේ දොළොස්වැනි වගන්තිය යටතේ තහනම් කර තිබෙනවා. දඩයම් කිරීම, තුවාල කිරීම, හෝ මරණයට පත් කිරීම මේ ගමනේ දඬුවම් ලැබීමට හේතු වෙනවා. ඒ සඳහා යම් උපකරණයක් හෝ ද්‍රව්‍යයක් යොදා ගැනීමත් වරදක් වෙන මෙම පනතේ විසිවැනි වගන්තියට අනුව විදුලි සැර වද්දවා මරණයට පත්කිරීමක් වරදක් ලෙස දක්වා තිබෙනවා. මෙම සියලුම වැරදිවලට සිරදඬුවමක් සමඟ රුපියල් ලක්ෂ එක හමාර සිට රුපියල් ලක්ෂ පහ දක්වා දඩ නියම කිරීම් පනවා තිබෙනවා. වසර පහක් දක්වා සිරදඬුවම් මෙයට අදාළ වෙනවා. අලි සම්බන්ධ වැරදි කරන පිරිසට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය විදිමත් නැහැ. අපේ රටේ ප්‍රභූවරු සහ ඇතැම් බලතල සහිත පුද්ගලයන් අලි ඇතුන් දඩයම කර​ෙගන යනවා. මේ අයට එරෙහිව හරිහැටි නීති ක්‍රියාත්මක නොවීම නිසා ජාවාරම දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා.  


නීති ක්‍රියාත්මක කිරීම් නිසි ආකාරව සිදුකිරීම මෙම ගැටලුවට විසඳුමක් ලෙස යෝජනා කරන බව නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් ක​ෙළ්ය.  


අලි ඇතුන් මියයෑමේ​ ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණ හාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා අප සමඟ දැක්වූ අදහස් මෙසේය:  


අලි ඇතුන් මියයාම මෙතෙක් ඉතිහාසයේ පැවැති තත්ත්වයට සාපේක්ෂව වඩා වර්ධනයවීමක් දක්නට ලැබෙන කාල සීමාවක් බවට මෙම කාලසීමාව දැක්විය හැකියි. එක්දහස් නවසිය අනුව සිට වසර දෙදහස දක්වා ගෙවිගිය වසර දහය තුළ අලි මියයාම සිදුවුණේ එකසිය පනහක් වැනි ප්‍රමාණයක්. දෙදහස සිට දෙදහස් හත දක්වා ප්‍රමාණය දෙසීය දක්වා වර්ධනය වී තිබෙනවා. දෙදහස් හත සිට දෙදහස් දාහත දක්වා කාලසීමාව වෙනවිට එම අගය දෙසිය අසූව දක්වා වර්ධනය වී තිබෙනවා. අලි ඇතුන්ගේ ව්‍යවස්ථාන අහිමි වීම වාසභූමි ආශ්‍රිතව ආක්‍රමණික ශාක බෝවීම හරක්, මීහරක් වැනි සතුන් අලි ඇතුන්ගේ වාසභූමි ආක්‍රමණය වීම නිසා අලි ඇතුන් වනාන්තර හා තෘණ භූමි ප්‍රදේශවලින් එළියට පැමිණිම නිසා ජීවිත තර්ජනයටම ඔවුන් මුහුණ පා තිබෙනවා.  


කැලෑ ප්‍රදේශවල සිටිය යුතු අලි ඇතුන් මිනිස් ඇස්ගැටීම වැඩි වී ඇති නිසා ජාවාරම්කරුවන්ට මේ තත්ත්වය වාසිදායක වී තිබෙනවා.  
වයඹ කලාපය මේ වෙද්දී අලි මිනිස් ගැටුම් බහුල කලාපයක්. ඒ වගේම එම ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන්ගේ වාසභූමි අහිමිවීමත් දිගින් දිගටම සිදුවෙනවා. මෙම ගැටලුවට පිළියම් ලබානොදී අලි ඇතුන් සුරක්ෂිත කිරීමට යොදවන වෙනත් කිසිදු වැඩපිළිවෙලක් සාර්ථක වන්නට නැහැ යනුවෙන් සජීව චාමිකර මහතා අප සමඟ සඳහන් කළේය.   


අලියෙක් ඇතෙකු දකින විට නෙත් බැහැර නොකොට බලා සිටිමම අප නිරුත්සාහිකවම පෙළඹෙන්නේය. සැබැවින්ම ඔවුන් අපට වඩාත් සමීප සත්ත්ව විශේෂයකි. මියගිය ඇතුන්ට පින්පතා සෙත්පිරිත් පැවැත්වීම ආදියට තරම් අප කෘතඥතා පූර්වක වන්නේ එබැවින් බව මෙහිදී අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.  

සටහන : සමන්තිකා මාධවී