නීති විරෝධී පොලිසියක් හැදූ යාපනය නගරාධිපතිගෙන් ප්‍රශ්න කරයි


(වන්නි රොමේෂ් මධුසංඛ) 

යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනකුගෙන් යුතු ‘යාපනය නගර ආරක්ෂක බළකාය’ නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ යාපනය මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා ඉකුත් සිකුරාද‌ා අලුයම අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 

එලෙස යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය මහ නගරාධිපතිවරයා එදින උදෑසනම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලිසියේ සිට වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය. 
යාපනය නගර ආරක්ෂක බළකායක් ලෙසින් පුද්ගලයින් පස්දෙනකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිල ඇඳුමක් ද හඳුන්වා දී තිබූ අතර අද‌ාළ නිල ඇඳුම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක්වූවේය. එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයන් විසින් පැළඳි නිල ඇඳුමට බෙහෙවින් සමාන වීම හේතුවෙනි. 
කෙසේ වෙතත් අද‌ාළ බළකාය සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් නොකිරීම පිළිබඳව ඉකුත් 8 වැනි දිනම යාපනය මහ නගරසභා කොමසාරිස්වරයා ඇතුළු එම බළකායේ සාමාජිකයන් පස්දෙනා ද පොලිසියට ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු සිකුරාද‌ා අලුයම යාපනය මහ නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම හෝ එම සංවිධානයේ නිලඇඳුම් හා ලාංඡන ප්‍රදර්ශනය කිරීම ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක් වෙයි. 


කෙසේ වෙතත් යාපනය මහ නගරාධිපති අද‌ාළ බළකාය සම්බන්ධයෙන් පවසා සිටියේ මෙම බළකාය පිහිටුවන ලද්දේ යාපනය නගරයේ පිරිසිදුභාවය හා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වෙනුවෙන් බවත් වෙනත් කිසිදු අරමුණක් නොමැති බවත්ය.