නිවුන් සොහොයුරන් නායකත්වය දෙන පාතාල කල්ලියක්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

නිවුන් සහෝදරයින් නායකත්වය ලබාදෙන බව කියන පාතාල කල්ලියක් ගැන තොරතුරු හෙළි වී ඇතැයි පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.  

 ශානු හා බානු යන නම්වලින් හැඳින්වෙන මෙම නිවුන් සොහොයුරන් දෙදෙනාගේ නායකත්වයෙන් යුතු මෙම පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකු කඩුවක් ද සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියද‌ා අතුරුගිරියේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.  


 මෙම පාතාල කල්ලිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේ ඇතැම් ධනවත් ව්‍යාපාරිකයින්ට මරණීය තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගන්නා බවට ලැබී තිබූ පෙත්සම් මත කරන ලද පරීක්ෂණවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. නිවුන් සොහොයුරන් හා සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ මෙහෙයවයි.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත එහි සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධ්‍යක්ෂ ශාන්ත රත්නපිටිය හා සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු යන මහත්වරුන් යටතේ මෙහෙයුම් පවත්වති.