නිල නිවාස ඉල්ලා ඇමැතිවරු පෝලිමේ


කොළඹ ගෙවල් තියෙන ඇත්තෝත් ඉල්ලලා

(අජන්ත කුමාර අගලකඩ)   

කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 45 දෙනකු පමණ නිල නිවාස ඉල්ලා ඇති නමුත් රජය සතුව ඇත්තේ ඇමැති නිල නිවාස 30 ක පමණ ප්‍රමාණයක් බැවින් ඉතිරි පිරිසට නිල නිවාස ලබාදීම ගැටලුවක් වී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   

නිල නිවාස ඉල්ලා ඇති කැබිනට් ඇමැතිවරුන් 21 දෙනකුගෙන් විසි දෙනකුට පමණ ද රාජ්‍ය ඇමැතිවරුන් 24 දෙනකුගෙන් දසදෙනකුට පමණ ද නිල නිවාස ලබාදී ඇති නමුත් තවත් 15 දෙනකුට පමණ නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇතැයි එම ආරංචිමාර්ග කියයි.   


විපක්ෂයේ ප්‍රධාන තනතුරක් දරන විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද රජයේ නිල නිවසක් ඉල්ලා ඇති නමුත් ඔහුට ද මෙතෙක් නිල නිවසක් ලබා දී නැති බව පැවැසේ.   


රජයේ නිල නිවාස ලබාගෙන ඇති කැබිනට් ඇමැතිවරුන් අතර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනකු ද සිටින බව පැවැසේ.  


නිල නිවාස ඉල්ලා මෙතෙක් නොලැබුණු රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු සිය ඉල්ලීම් දෙතුන් වතාවක්ම ඉදිරිපත්කර ඇති බව වාර්තාවේ.   


මේ අතර ඉකුත් ආණ්ඩුව සමයේ රාජ්‍ය ඇමති ධුර දැරූ තිදෙනකුද නිල නිවාස ආපසු බාරදී නැතැයි ද ආරංචිමාර්ග කියයි.