නිල නිවසේ අනවසරයෙන් රැඳී සිටි වෛද්‍යවරයාට ලක්ෂ 80ක දඩයක්!


(ජයන්ත සමරකෝන්)  

කොළඹ හිටපු ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා විශ්‍රාම ගොස් වසර 4කට ආසන්න කාලයක් සිය නිල නිවස භාරනොදීම හේතුවෙන් ඒ මහතාට දණ්ඩන කුලි වශයෙන් රුපියල් ලක්ෂ 80ක් පමණ ගෙවීමට සිදුවී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.  

2014 නොවැම්බර් 20 සිට 2018 සැප්තැම්බර් 14 අතර කාලය සඳහා ඒ මහතාට මෙම දඩමුදල පනවා ඇතැයි ද පැවසේ.  


මොහු අංක 2 1/2 උද්‍යාන පාර කොළඹ 5 හා අංක 4 උද්‍යාන පිට පාර කොළඹ 5 යන ස්ථානයන්හි පිහිටි නිල නිවාස දෙකක් එක්කරමින් තරප්පු පෙළක් ඉදිකර එම නිවෙස්වල ව්‍යුහාත්මක වෙනස්කමක් සිදුකර එක නිල නිවසක් ලෙස මෙය පවත්වාගෙන යමින් ඒ සඳහා සිය නිල කාලය තුළ කුලී මුදල් ගෙවා ඇතැයි ද 2014 නොවැම්බර් 20 දිනෙන් පසු කුලි මුදල් ගෙවා නැතැයි ද සඳහන් වේ.  වසර 4කට ආසන්න කාලයක් තුළ මෙම නිල නිවාසය භාරනොදීම හේතුවෙන්, නගර සභාව මගින් නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන තිබුණු අතර වත්මන් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතාට හිමි නිල නිවසේ හිමිකම පවා අහිමි වී තිබුණි.