නිරෝධායනය වෙමින් සිටියදී මියගිය දෙදෙනකුගේ අවසන් කටයුතු සිදුකරයි


(රොමේෂ් මධුෂංඛ)  

මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටියදී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉරිදා (3) අලුයම් කාලයේ සිදුකළ බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.  

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් 2 වැනි දින මියගිය අතර ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුකිරීම මුලතිව් පොලිසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙත භාර කෙරිණි.  


එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදාගෙන තිබුණද එහි ආදාහනාගාරයක් නොමැතිවීමෙන් දර යොදා පිළිස්සීමට පියවර ගෙන තිබුණි.  


එහෙත් ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයන් දෙදෙනාගේ අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදුකිරීමට අවස්ථාව ලබාදී නැත.  


අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර්. පරීක්ෂණ අනුව කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට වාර්තා පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලිසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී විසින් පදිංචිකරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදුකෙරුණි.  අදාළ මරණ සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.  


මියගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණයන් අනුව කොරෝනා ආසාදනය නොවී ඇති බවට වාර්තාව ලැබුණා. මේ අය කොළඹ ගුණසිංහපුර සිට රැගෙන ගිය දෙදෙනෙක්. ස්ථිර පදිංචියක් නැහැ. හඳුනාගත් අය නැහැ. ඔවුන් නිරෝධායනය වෙන විට ලබාදී ඇති තොරතුරුවලට අනුව එක් පුද්ගලයෙක් 83 හැවිරිදි තංගවේලි නැමැති අයෙක් අනෙක් පුද්ගලයා 81 හැවිරිදි පී.ජී. මාර්ටින් නැමැති අයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ මහතා පැවසීය.  

 

නිරෝධායන කඳවුරේදී මිය ගිය අයගේ 
අවසන් කටයුතු සිදු කරමින්...
(ඡායාරූපය රොමේෂ්)