නායකත්වය තීන්දු කරන්න ගිය එජාප රැස්වීම ගාලගෝට්ටියකින් අවසන්


(දයාසීලි ලියනගේ)   

එජාප නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම එකම ගාලගෝට්ටියකින් අවසන් විය.   

රනිල් වික්‍රමසිංහ නායකත්වයට පත්විය යුතු බවට හා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්විය යුතු බවට සඳහන් කරමින් එම පක්ෂයේ මන්ත්‍රීවරු දෙපැත්තට බෙදී කෑ ගැසූහ.   


පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත මන්දිරයේදී පැය හතරකට අධික කාලයක් මෙම රැස්වීම පැවැත්විණි.  රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, හර්ෂන රාජකරුණා, නලින් බණ්ඩාර, අජිත් පී පෙරේරා, රවි සමරවීර, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර් ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය භාරදිය යුතු බව එහිදී ප්‍රකාශ කර සිටියහ.   


සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිය යුතු බවට රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර කබීර් හෂීම් මහතා එය ස්ථිර කළේය.   
මෙහිදී නවීන් දිසානායක මහතා නැගිට සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරනු ලබන හම්බන්තොට ආසනයත් පරාජය වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ එක හඬින් කෑ කෝ ගසමින් නවින් දිසානායක මහතාගේ ප්‍රකාශයට විරෝධය දක්වා ඇත.