නව ව්‍යවස්ථා විශේෂඥ කමිටු වාර්තාවට මෙහෙයුම් කමිටුවේ බෙදීමක්


(අජන්ත කුමාර අගලකඩ)   

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වේ.   

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ විද්වත් කමිටු වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර එහි සඳහන් කරුණුවලට මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ දැඩි විරෝධය පළවී ඇත.  
විද්වත් කමිටුව සාමාජිකයින් දස දෙනකුගෙන් සමන්විත වන නමුත්, ඉදිරිපත් කර තිබූ වාර්තාව, කමිටු සාමාජිකයින් හය දෙනකුගේ අත්සනින් පමණක් ඉදිරිපත් කිරීමත්, ඉතිරි සිවුදෙනාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදීමත් මත මෙම විරෝධය පළවූ බවද වාර්තා වේ.  


මෙහෙයුම් කමිටුව හමුවට ඉදිරිපත් කර තිබූ වාර්තාව ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බලපෑම මත සකස්කර ඇති බවට ද එහිදී චෝදනා එල්ලවී ඇත.  


විශේෂඥ කමිටුවේ වාර්තාව, දස දෙනාම එකතුවී සකස් කර, සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මෙහෙයුම් කමිටුව එම විශේෂඥ කමිටුවට එහිදී උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.