ධීවර කටයුතු නංවන්න ප්‍රංශ ආධාර


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

මෙරට ධීවර කර්මාන්තය නංවාලීම සඳහා ප්‍රංශ රජය ආධාර ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.  


ධීවර කර්මාන්තය නංවාලීම සඳහා ප්‍රංශය දැනටමත් ආධාර සපයන අතර ඉදිරියටත් එම ආධාර අපේක්ෂා කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.  

පසුගියදා ධීවර අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා සඳහන් කර ඇත්තේ මෙරට ධීවර වරායන් කිහිපයක් නවීකරණය කිරීමට ඇති හැකියාව තම රජය අධ්‍යයනය කරමින් සිටින බවයි.  


මෙරට බහුදින ධීවර යාත්‍රා ජාත්‍යන්තර මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීමේ දී විවිධ බාධකවලට මුහුණ දීමට සිදුව තිබේ. එසේ බාධකවලට මුහුණපෑමට සිදුව ඇති ධීවරයන් හා යාත්‍රා හඳුනා ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ඇතිව වී.එම්.එස්. (VMS) උපකරණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටින අතර ඒවා ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා ප්‍රංශ තානාපතිවරයාට පෙන්වාදී ඇත.  


ඒ නිසා එම උපකරණ ප්‍රංශ රජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවලට ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ප්‍රංශ තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.