දේශීය ආද‌ායම් කාර්යාලයක අත යට ගනුදෙනුවක්


(ජයන්ත සමරකෝන්)  

දේ​ශීය ආද‌ායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක් සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 60 බැගින් රුපියල් කෝටි 7 කට අධික මුදලකට වාර්ෂික බදු පදනම යටතේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ලබාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.  

 දෙපාර්තමේන්තුවේ උසස් තනතුරක් දරා විශ්‍රාම ගිය නිලධාරියෙකුගේ ඥ‌ාතියෙකුට අයත් බව කියන මෙම පැරණි ගොනැගිල්ලේ පහසුකම් පවා අවම මට්ටමක පවතින බව ද පැවසේ.  


 ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතිය මෙයට සම්බන්ධ කිරීම සඳහා තවත් රුපියල් මිලියන 40 ක් පමණ වැයවෙනු ඇතැයි ද දැනගන්නට තිබේ.  


 මෙම ගොඩනැගිල්ල වසරක් සඳහා කුලියට ගැනීම පිටුපස විශාල කොමිස් මුදලක් හුවමාරු වෙන බව ද කියති.  


මෙම දෙපාර්තමේන්තුවට අයත් අංශ කීපයක් ලබන වසරේදී නාරාහේන්පිට ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක මහල්‍ 4 කට ගෙන යාමට තීරණය කර තිබියදී කිසිදු පහසුකමක් නොමැති පැරණි ගොඩනැගිල්ලකට මෙම අංශ රැගෙන යාමට දරන උත්සාහය පිළිබඳව එහි නිලධාරීහු විමතිය පළකර සිටිති.