දේශපාලන හිතවතුන්ට විදුහල්පති පත්වීම්


ජාතික විදුහල්පති සංගමයෙන් චෝදනා

(උපුල් වික්‍රමසිංහ)  

සේවා ව්‍යවස්ථාවට බැහැරව පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා ආණ්ඩුව දේශපාලන හිතවතුන් පත් කරමින් සිටින බවට ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය චෝදනා කරයි.  

එම සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ මේ වෙන විට දිවයින පුරා පිහිටි පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4600 ක් පමණ තිබෙන බවත් පසුගිය මැතිවරණවල දී ආණ්ඩුවට උදව් කළ වැඩබලන විදුහල්පතිවරුන් එම තනතුරුවලට පත් කරමින් සිටින බවත්ය.  


මේ ආකාරයට දේශපාලන හිතවතුන් වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පත් කිරීම නිසා විදුහල්පති සේවයේ ශ්‍රේණි තුනෙහිම කටයුතු කරන අයට හා විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ විභාගය සමත් වෙන ගුරුවරුන්ට විශාල අසාධාරණයක් වෙන බව කියන වීරසිංහ මහතා සමහර පාසල්වල ශ්‍රේණි නිලධාරීන් සිටිය දී වැඩ බලන විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද කියයි.  


මේ චෝදනා ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු 4533 ක් සඳහා වසර පහකට අධික කාලයක් වැඩබලන විදුහල්පතිවරුන් වශයෙන් කටයුතු කළ ගුරුවරුන් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් එම කටයුතු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා සිදු කළ යුතු නමුත් මෙතෙක් එම කොමිෂන් සභාවෙන් ඊට අදාළ නිර්දේශ ලැබී නොමැති බවත්ය.