දේශපාලන බට පඳුරට ගිනි තැබූ බැඳුම්කර කොමිසම


කවුරු දේශපාලනය කරන්න ආවත් හොරකම් කරනවානේ............ මෙය අද කාලයේ දේශපාලනය ගැක කතා කරන විට ඕනෑම කෙනකු කියන කතා අතුරින් එක් කතාවකි.   


ඒත් මෙහෙම හොරා කෑමක් .......?   
බැඳුම්කර කොමිසමේ දිගහැරෙන සාක්කි ඇසූවිට මට ඇතිවුණේ එහෙම හැඟීමකී.   


බැඳුම්කර සිද්ධිය, මේ වන විට ලංකාවේ දේශපාලනයත්, ‘ඇළ මැද්දේ ගෙදර’ යනුවෙන් ඇතැමකු හඳුන්වන පාර්ලිමේන්තුවත්, මහජනතාවගේ සේවකයන් ලෙස බොහෝම උජාරුවෙන් තමන්වම හඳුන්වා ගන්නා ‘සුදු පිරුවට කරුවනුත්’ හැල්ලූවට ලක්කොට ඇත.   
ඔවුන් පමණක් නොව මේ වන විට බැඳුම්කර කොමිසම ලංකාවේ දේශපාලනය නමැති බට පඳුරට ගිනි තබා ඇත.    


හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පදිංචිවී සිටින ‘මොනෑක් එපාර්ට්මන්ට්’ සංකීර්ණයේ රුපියල් කෝටි 16 1/2 නිවෙස පිළිබඳ බැඳුම්කර කොමිසමේදී දිගහැරුණු අවස්ථාවේදී පසුගිය කාලයේ ලංකාවේ දේශපාලනය නමැති බට පඳුර හිටිහැටියේම ගිනි ගත්තේය. එම ගින්නේ රස්නයට මැදි වූ අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලි​ෙම්න්තුවේ අසුන්ගෙන සිටි ඉදිරි පෙළ අසුනින් පසු පෙළ අසුනකට වීසීකර දැම්මේය.   


එම ගින්නේ රස්නය මැකී යෑමට මත්තෙන් ලංකාවේ දේශපාලනය නමැති බට පඳුරට යළිත් වරක් ගිනි ඇවිළුණේය. ඒ ගින්නේ ආරම්භයත් බැඳුම්කර කොමිසමම ය.   


ඒ පසුගිය 06 වැනිදා බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්කි දුන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැණුම්කාර නුවන් සල්ගාදු මහතා යළිත් වරක් එම බට පඳුරට ගිනි තිබ්බේය.   


ඒ ‘ඩිව් ගුණසේකර කෝප් කමිටුවේ’ සාක්කි සටහන් එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකගේ පුත‍්‍රයකුගේ මාර්ගයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු බව හෙළි කරමිනි.   
2015 පෙබරවාරි මස 29 වැනිදා සිදුවූ බව කියන ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඩිව් ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ කෝප් කමිටුවේදී කසුන් පලිසේන මහතා සාක්කි දුන් බවත් එම සාක්කි සටහන් එම කෝප් කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මියගේ පුතාගෙන් ලබාගෙන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබාදෙන ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තමාට දැනුම් දුන් බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැණුම්කරු ලෙස කටයුතු කළ නුවන් සල්ගාදු මහතා බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කරමින් බට පඳුරට ගිනි අවුළුවාලීම සඳහා මුල්ම ගිනිකූර ගැසුවේය.   


2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සාක්කි විමසූ අවස්ථාවේදී සල්ගාදු මහතාගේ ගිනිකූරෙන් බට කැලය ගිනි ගත්තේය.   


සල්ගාදු මහතාගේ ගිනිකූරෙන් බට කැලය ගිනි ගැනීමට පෙර අවස්ථාවක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ‘එක්ස්ටෙන්ඩඩ් වොයිස් සිස්ටම්’ (Extended voice system) පද්ධතියේ පටිගතවන දුරකථන ඇමතුම් මකා දමා කොමිසම නොමඟ යැවීමට තමන්ට අදහසක් නොතිබූ බවත් තමන්ගේ ඉහළ නිලධාරියා වන කසුන් පලිසේන මහතා දුන් උපදෙස්වලට අනුව කටයුතු කරමින් සචින් දේවතන්ත‍්‍රී මහතා ලවා පද්ධතියේ තිබූ දත්ත සීයකට අධික ප‍්‍රමාණයක් මකා දැමූ බවත් බැඳුම්කර කොමිසම හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පිළිගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැණුම්කාර නුවන් සල්ගාදු මහතා ඒ සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව අයැද සිටියේය.   


2016 මාර්තු මස 29 සහ 30 වැනි දිනවල සිදුවූ දුරකථන සංවාදවලට සවන් දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට හානිදායක තොරතුරු හඳුනා ගන්නා ලෙස කසුන් පලිසේන මට කී කරුණු අනුව මා ‘එක්ස්ටෙන්ඩඩ් වොයිස් සිස්ටම්’ (Extended voice system) පද්ධතියේ පටිගත වන දුරකථන ඇමතුම් සංවාදවලට සවන් දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට හානිදායක තොරතුරු පහක් දහයක් විතර හඳුනා ගත්තත් ඒවා කවුරු කා සමඟ කළ සංවාද ද යන්න තමාට මතක නැතැයි කී නුවන් සල්ගාදු මහතා, අර්ජුන් මහේන්ද්‍රන්ගේ උපදෙස් මත කසුන් පලිසේන මහතා විසින් සේවක අර්ථ සාධක අරමුදලේ උයදශිලන් සමඟ බැඳුම්කර ගනුදෙනු කරන ලද බවත් පැවසීය.   


මේ සමඟ ආරම්භ වූ බට කැලයට ගිනි ගැනීම තව තවත් ව්‍යාප්ත වූයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයකු වන සංජීව ප‍්‍රනාන්දු මහතා ‘ඇළ මැද්දේ ගෙදර’ යනුවෙන් හඳුන්වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ සාක්කි දීමට යන බව පවසා ඒ සඳහා සමාගමේ දත්ත සටහන් වෙනත් අයකුට ලබාදීම සඳහා තමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවද නුවන් සල්ගාදු මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කිරීමක් සමඟිනි.   


ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය වූ සමයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකථන ඇමතුම් දත්ත මකා දැමූ බව මුලින්ම කොමිසම හමුවේ හෙළි විය. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානි සචින් දේවතන්ත‍්‍රී මහතා ඒ බව හෙළි කළත් කොමිසමේ විමර්ශන කටයුතු සිදු කරන රහස් පොලිසියට සම්බන්ධිත නිලධාරීන්ගේ සුවිශේෂී කැපවීම හා දක්‍ෂතාව නිසාම ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය වූ සමයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකථන ඇමතුම් දත්ත මකා දැමීමට පෙර ලබා ගත් සංස්කරණය නොකළ සංයුක්ත තැටි හතරක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු මහතා මඟින්ම ලබාගැනීමට හැකි විය.   


මෙම සංස්කරණය නොකළ සංයුක්ත තැටි ඔහුට ලැබුණේ සචින් දේවතන්ත‍්‍රී මහතාගෙන් බවත් මෙම සංයුක්ත තැටිවල අඩංගු වන්නේ විකෘති නොකරන ලද හඬ පටවල මුල් පිටපත් බවත් ඔහු හෙළි කළේය.   


එම සංයුක්ත තැටි හතරේ එක් සංයුක්ත තැටියක තිබූ එක් දුරකථන ඇමතුමක් කොමිසම හමුවේ වාදනය කොට එය සාක්කිකරුට ඇසෙන්නට සැලැස්වීය. එම ඇමතුම කසුන් පලිසේන මහතා එංගලන්තයේ සිට තම කන්තෝරුවට දුන් ඇමතුමක් බවත් තමා එයට පිළිතුරු දුන් බවත් ඔහු හඳුනා ගත්තේය.   


ඉන් අනතුරව ‘ඩිව් ගුණසේකර කෝප් කමිටුවේ’ සාමාජිකාවක ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මියගේ පුතා වන කණිෂ්ක සේනානායක මහතා මඟින් එම ​ෙකා්ප් කමිටුවේදී කසුන් පලිසේන මහතා දුන් සාක්කි සටහන් ලබාගෙන මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට ලබාදෙන ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා පවසන අයුරු ඇසුණු අතර ඒ බව නුවන් සල්ගාදු මහතා සවිස්තරව කොමිසම හමුවේ හෙළි කළේය.   


ඒ අතර කොමිෂන් සභා පරිශ‍්‍රයට යම් පිරිසක් මෝටර් රථයකින් පැමිණ ආපසු ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එය කොමිසමට තර්ජනයක් බව පවසමින් බැඳුම්කර කොමිසමට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමකට අනුව එහි කාර්යාලය, සාක්කි විභාග කිරීමේ ශාලාව අතුළු පරිශ‍්‍රයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යෙදීමට පොලිසිය විසින් කටයුතු යොදනු ලැබිණි.    

 
එමෙන්ම ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස කොමිසමෙන් අර්ජුන් ඇලොසියස් මහතාට නිකුත් කළ නොතීසිය බාරදීමට සොයන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා සොයාගැනීමට නොහැකි බව එහි නිලධාරීහු කොමිසමට දැනුම් දුන්හ.   


අදාළ නොතිසිය බාරදීමට විමර්ශන නිලධාරීන් කිහිප වරක්ම ඔහු සෙවූ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවත්, මෙම නොතිසිය බාරදීම සඳහා කොමිසමේ විමර්ශන නිලධාරීන් කිහිප වරක්ම ඇලෝසියස් මහතාගේ කාර්යාලයට ගිය නමුත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ හෙයින් පසුව ඔහුගේ නිවෙසට ගියත් ඔහු හමුවීමට නොහැකි වූ බවත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර රිචි සැමුවෙල් මහතාගෙන් ඇලෝසියස් මහතා පිළිබඳ විමසීමක් කෙරිණ. එහෙත් ඔහුගෙන් ඇලෝසියස් මහතා සොයා ගැනීම සඳහා සහයෝගයක් නොලැබුණු බවද කොමිසමට දැනුම් දුන්නේය.   


යම් හෙයකින් අර්ජුන් ඇලෝසියස් මහතා ප‍්‍රකාශයක් ලබාදීමට කොමිසමට නොපැමිණියහොත් මෙම කටයුතුවලින් පසුව උද්ගතවිය හැකි ප‍්‍රතිඵලවලට ද ඔහුට මුහුණ දීමට සිදුවනු ඇති බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අර්ජුන් ඇලෝසියස් මහතා වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාට නියම කළේය.   
එක් ගිනිකූරකින් ඇවිළුණු ගින්න මහා ගින්නක් බවට පත් වූයේ 2014/2015 මුදල් වර්ෂය තුළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලැබූ ලාභය කොමිසම හමුවේ හෙළි වීමත් සමගය.   


භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සිදුවන අවස්ථාවේදීම ඒවායේ ලංසු ඉදිරිපත් කිරීම ඇතුළු සෙසු ප‍්‍රාථමික ගැණුම්කරුවන්ට නොලැබෙන සියලු වැදගත් තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට මහබැංකුව තුළින්ම ලැබීම නිසා 2015/2016 වසර තුළ රුපියල් කෝටි 1100ක ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබීමට හැකි වූ බව එම සමාගමේ ප‍්‍රධාන ගැණුම්කාර නුවන් සල්ගාදු මහතා බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කිරීමත් සමඟ ඔහු මේ පවසන්නේ කජු ඇට කොස් ඇට ගැනදැයි මට නම් හිතාගැනීමට නොහැකි විය.      


මාමණ්ඩියා අධිපති ධුරය උසුලන මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරීන්ගෙන් අන් ප‍්‍රාථමික ගැණුම්කරුවන්ට නොලැබෙන සියලු වැදගත් තොරතුරු අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබුණු නිසා මුදල් වර්ෂයකට රුපියල් කෝටි 1100ක ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබීමට හැකි වූ බව හෙළි වන විට ලංකාව තවමත් තුන්වැනි ලෝකයේ රටක් වන්නේ කෙලෙසකදැයි නිතැතින්ම ප‍්‍රශ්නයක් මතුවීම අරුමයක් නොවේ.   


භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදීම එහි ලංසු තබන අකාරය, ‘බිඩ් වොලියුම්’, ඵලදායිතා අනුපාතය, ආදී අන් ප‍්‍රාථමික ගැණුම්කරුවන්ට නොලැබෙන සියලු වෙ​ෙළඳපොළ සංවේදී වැදගත් තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට මහබැංකුව තුළින්ම ලැබුණු බවත් ඇලෝසියස් මහතා තමාට ඒවා දැනුම් දුන් බවත් නුවන් සල්ගාදු මහතා වැඩිදුරටත් පැවැසීය.   


හිත හිරිවට්ටන බට කැලෑවලට ගිනි තබන තොරතුරු හෙළි කළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැණුම්කාර නුවන් සල්ගාදු මහතා කොමිසම අමතමින් තම ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් හටගෙන ඇති බව හෙළි කිරීම නිසා ඔහුට විශේෂ ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස බැඳුම්කර කොමිසම පොලිසියට නියම කෙරිණි.   


බැඳුම්කර වෙන්දේසිවලදී මහබැංකුවෙන්, සේවක අර්ථ සාධක අරමුදලෙන් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරීන්ගෙන් අන් ප‍්‍රාථමික ගැණුම්කරුවන්ට නොලැබෙන සියලු වැදගත් තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබීමෙන් ලාභ ලැබීම, කෝප් කමිටුවේ සටහන් ලැබීම ඇතුළු ඉතා වැදගත් තොරතුරු විශාල ප‍්‍රමාණයක් කොමිසම හමුවේ හෙළි කිරීමෙන් අනතුරුව නුවන් සල්ගාදු මහතාට විශේෂ ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස කොමිසම මෙලෙස නියම කළේය.   


කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කොමිසම ඇමතූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සාක්කිකාර නුවන් සල්ගාදු මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සේවකයකු බවත් ආයතනයේ අයථා ක‍්‍රියා හෙළි කළ අයකු බවට පත්ව සිටින්නේ යැයිද පැවසීය.   


එහෙයින් නුවන් සල්ගාදු මහතාට වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනතේ සියලු රැකවරණය ලැබෙන බවත් ඔහුට මෙම කොමිසමේ සාක්කිකරුවකු ලෙස සාක්කි දීම නිසා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කිසිවකු හෝ ඔහුට කිසියම් ආකාරයක බලපෑමක් හෝ හිංසනයක් කිරීම අපරාධමය වරදක් බවත් කී ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතා මෙම සාක්කිකරුට වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනතේ රැකවරණය ඔහුට ලැබෙන බවත්, ඔහු යම් හිංසනයට ලක් කරන අයෙකු වෙතොත් ඔහුට එම පනත යටතේ දඬුවම් ලැබෙන බවත් පෙන්වා දුන්නේය.   


එවැනි යම් ආකාරයක බලපෑමක් හෝ හිංසනයක් හෝ කළහොත් අපරාධමය වරදක් ලෙස සලකා දීර්ඝ කාලීනව රිමාන්ඞ් බාරයට පත් කිරීමට හැකියාව ඇති බවත්, ඇප ලබා ගැනීමට හැකියාව ඇත්තේ අභියාචනාධිකරණයෙන් බවත් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා දැනුම් දුන්නේය.   


මෙම කොමිසමේ කටයුතුවලට ඉතා වැදගත් තොරතුරු විශාල ලෙස හෙළි කළ නුවන් සල්ගාදු මහතාට විශේෂ ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතා ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් කොමිසම එලෙස නියම කළේය. 

මනෝප‍්‍රිය ගුණසේකර