දේශපාලන නාටකයේ රහසිගත ජවනිකා


සතියේ දේශපාලනය

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සුබ මොහොතින් වැඩබාර ගත් අයුරු

 

 

දේශපාලනය මේ තරම් උඩු යටිකුරු වූ සතියක් ඉතිහාසය පුරාම නොවුණි. ගිය සතිය මහත් ආන්දෝලනාත්මක විය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේ බලාපොරොත්තු නොවූ අවස්ථාවකය. ඒ බව දැන සිටියේ දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි. 

 
 යහපාලන රජය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයත් එක්ව පවත්වාගෙන ගිය රජයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය මුල සිටම ප්‍රකාශ කර සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 16 දෙනෙක් රජයෙන් ඉවත් වී ස්වාධීන වූහ.   


තිලංග සුමතිපාල මහතාගේ නිවසේ කාර්යාලයක් පිහිටුවා ගත් ඔවුහු රජය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතුය යන මතයේ දැඩිව පිහිටා සිටියහ. ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල. ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු සීමිත පිරිසක් උත්සාහය අත්හැරියේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ පාර්ශ්වයෙන් සිදුකළ අදිමදි කිරීම් නොසලකා හරිමින් ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර හොර රහසේ අදහස් හුවමාරු කළහ. හොර රහසේ දෙදෙනා මුණ ගස්වා සාකච්ඡාවට දොර විවෘත කර දුන්හ.   


 මේ අතරතුර එක්සත් ජාතික පක්ෂය ද ද්‍රවිඩ ජාතික සන්ධානය හා සුළු පක්ෂ සමඟ සම්බන්ධ වී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමටත් සූද‌ානම් වෙන බවටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තොරතුරු ලැබී තිබුණි. ඊට අමතරව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබුණි. ජනාධිපතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර නොහොඳ නෝක්කාඩුකම් හිත් අමනාපකම් ඇතිවීම යනාදී කරුණු මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට ප්‍රධාන හේතු විය.   


 එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ඇතැම් ක්‍රියා නිසා දැඩි කලකිරීමට පත්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යහපාලන රජයෙන් රටට යහපතක් නොවන බවට අවස්ථා ගණනාවක දී තේරුම් ගිය බව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ඔහු යම් නම්‍යශීලී බවකින් කටයුතු කළේය.   


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික රජයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රථම එකඟතාවය වූයේ සියලු කරුණු සාර්ථක වුවත් අසාර්ථක වුවත් මාධ්‍යයට වසන් කිරීමය. මෙහෙයුමට සහභාගි වී සිටි සියලුම දෙනා එම තීරණය අකුරටම ක්‍රියාත්මක කළහ. මහ මොළකරු බැසිල් රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කිරීමට බාහිර පුද්ගලයෙක් මූලික විය. ඔහු ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු හා රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධව කටයුතු කළ අයෙකි. 

 
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුළ රාජපක්ෂ පවුල කෙරෙහි ප්‍රසාදයක් ඇති කරවීමටත්, රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වය නිසා රජය පත් වී තිබෙන අනතුරුද‌ායක හා ජනතා අප්‍රසාදයෙන් ගැලවීමට නම් රනිල්ගෙන් ඉවත් විය යුතු බවටත් ඔහු තරයේ පෙන්වා දුන්නේය. ඒ සඳහා ඔහු බැසිල් රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගස්වා කතා බහ කිරීමට සැලැස්වීය. එහිදී හැල හැප්පිලි ගැන සාකච්ඡා කළේය.   
සියලු දුරකථන සාකච්ඡා අන්තර්ජාලය හරහා (වට්ස් ඇප්) සිදුවිය. 16 කණ්ඩායම එක් අවස්ථාවක දී මාතලේ දී හමුවූහ. විවිධ ස්ථානවල සාකච්ඡා පැවැත් වූහ. මහ මෙහෙයුමට සම්බන්ධ අය එම සාකච්ඡාවලට සහභාගි වූ අතරම වෙනමම වෙනත් වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කළහ.   


 මුල් වතාවේ මෛත්‍රී - මහින්ද හමුව මාධ්‍යයට රහසක් නොවුණත් කිසිවෙක් ඒ බව සනාථ නොකළහ. අසත්‍ය බව ද ප්‍රකාශ නොකළේය. ඒ සිද්ධිය පූර්වා දර්ශයට ගත් පිරිස හිටපු නිලධාරියෙකුගේ නිවසේ දෙදෙනා මුණ ගැස්සුවේය. ඉන්පසු අවස්ථා කීපයක දී මෛත්‍රී මහින්ද හමුවී ගැළපිලි- නොගැළපිලි ගැන සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් අතර ඇතිවිය හැකි ගැටුම් ගැන සාකච්ඡා කළේය. ඇමැති තනතුරු බෙද‌ා ගැනීම ගැන සාකච්ඡා කළේය. එක මාවතකට පක්ෂය ගෙනයාම පිළිබඳව සාකච්ඡා කළේය. දෙපාර්ශ්වයට මුහුණ දීමට සිදුවෙන හා සිදුවිය හැකි ගැටලු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.   


 මෙම සාකච්ඡා සඳහා හමුවීම් ද සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව සිදු කෙරුණි. වෙනද‌ා ජනාධිපතිවරයා ආරක්ෂක රථ පිරිවරා ගෙන යාම සිදුවිය. මේ සාකච්ඡා සඳහා පිටත්ව ගියේ එක් රථයකි. මහින්ද රාජපක්ෂ මහතා ද එසේමය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදීවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීවත් මෙම සාකච්ඡා නොපැවැත්විණි. ඒ සඳහා විශේෂ ආරක්ෂිත කිසිවකු සැක නොකරන ස්ථාන තෝරා ගත්තේය. හිටපු රාජ්‍ය නිලධාරියකුගේ නිවසේ මෙම සාකච්ඡාවක් පැවැත්වීම එක් සිද්ධියකි.   


 පසුගිය සතිය තුළ පමණක් දෙදෙනා තුන් වතාවක් හමු වූහ.   


සිකුරාද‌ා දිනය නිදහස්ව තබා ගන්නා ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.   


 සිකුරාද‌ා පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 23 දෙනා කැඳවූ ජනාධිපතිවරයා තමන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවට හා වෙනත් කරුණු සාකච්ඡා කළේය. එහෙත් දිව්රුම් දීමක් ගැන වචනයක්වත් ප්‍රකාශ කළේ නැත. පස්වරු 6.30 ට පමණ සාකච්ඡාව අවසන් වී පිරිස විසිර යන විට ‘මහින්දයි - දුමින්දයි පොඩ්ඩක් මාව හමුවෙලා යන්න.’ යනුවෙන් මහින්ද අමරවීර මහතාට හා දුමින්ද දිසානායක මහතාට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. සියලු දෙනා නික්ම ගිය පසු ජනාධිපතිවරයා දෙදෙනාට කතා කළේය. ‘මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්න මම තීරණය කළා.’ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට දෙදෙනාට අදහාගත නොහැකි විය. සර්.. හදිසියේ තීරණය කළේ. මහින්ද අමරවීර ඇමැතිවරයා විමසුවේය. මේක නොකරම බැරි දෙයක් මහින්ද. අපි යහපාලන රජයෙන් ඉවත් වෙන බවට මහින්ද මාධ්‍යයට ප්‍රකාශයක් යවන්න. ඔය දෙන්න ඉන්න. යන්න එපා’ යැයි ජනාධිපතිවරයා කීවේය.   


 මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට දිවුරුම් දීමට පැමිණෙන ලෙස කොයි මොහොත් හෝ දැනුම් දෙනු ඇතැයි විශ්වාසයක් විය. ඔහු විජේරාම මාවතේ පිහිටි සිය නිවසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳවා සාකච්ඡා කරමින් සිටියේය. මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා දවල් 12.00ට පමණ මහින්ද රාජපක්ෂ මහතාට කතා කළේය. ‘මහින්ද‌‌‌ානන්ද දැන් අපේ ගෙදරට එන්න’ යැයි කීවේය.   


‘සර්. මම මේ පුස්සැල්ලාවෙ වතුකම්කම්කරුවන්ගේ උද්ඝෝෂණයක ඉන්නේ. මට දැන් එන්න අමාරුයි සර්.’ මහින්‌ද‌ානන්ද අලුත්ගමගේ මහතා කීවේය.   


‘මෙහෙ වරෙන් මිනිහෝ වහාම’ යැයි ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ වහා දුරකථනය විසන්ධි කළේය.   


 මහින්ද රාජපක්ෂ මහතා විධානාත්මක කරන ලද ප්‍රකාශය නිසා ඇඳ සිටි ඇඳුම පිටින්ම ඔහු කොළඹ බලා පිටත් විය. මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට එන විට එම නිවසින් වාහන පෝලිමක් පිටතට පැමිණෙමින් තිබිණි. ‘සාකච්ඡාව ඉවර ඇති.’ යැයි සිතූ මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා රියෙන් බැස ඉදිරියට පැමිණියේය. බැසිල් රාජපක්ෂ මහතා වාහනයේ ජනේලය විවෘත කර ‘යං යං ඉක්මනට යං’ යැයි කීවේය.   


 ‘කොහොට ද යන්නේ’   
‘ජනාධිපති මන්දිරයට?’   


‘මම මේ නිකන් ෂර්ට් එකක් ඇදල ඉන්නේ.’  


‘මොකක් හරි ඇඳගෙන යං යන්න’ බැසිල් ප්‍රකාශ කළේය.  


 වාහනයට දිව ගිය මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා එහි තිබූ සුදු කමිසයක් අදින අතරතුර වාහන පෝලිමට සිය වාහනය ද එක් කළේය. ජනාධිපති මන්දිරයට යන හේතුව දැනගත්තේ ඒ යන අතරතුරදීය.  


මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී සුභ පැතීම්වලින් පසු ඔහු එළියට පැමිණියේ ගංගාරාම විහාරයට යාමටය. ඔහු වටකරගත් පිරිස මේ තරම් ඉක්මනට මේක බලාපොරොත්තු වුණේ නැහැ සර්. යැයි කීවේය. ජීවිතේ පළමු වතාවට රහස් කියලා රැක්කේ මේක විතරයි. මට ඉතින් රහස් තියාගෙන ඉන්න බැහැනේ. ඕන දෙයක් කියවෙනවා. බොහොම අමාරුවෙන් මේක කටින් එළියට ද‌ාන්නෙ නැතුව හිටියේ.  


 නව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට සියලු දෙනාම මහ හඬින් සිනාසෙන්නට වූහ.  


නව අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ගංගාරාම විහාරයට ගොස් වැඳ පුද‌ාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.   
ඉන්පසු ඔහු විජේරාම පාරේ නිවසට ළඟා වෙන විට අති විශාල පිරිසක් රැස්ව සිටියහ. ඒ සියලු දෙනා අමතා කතා කළ නව අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි මන්ත්‍රීවරු සමඟ ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කළේය.  
 නව අග්‍රාමාත්‍යවරයා පසුවද‌ා මහනුවරට ගොස් දළදා වහන්සේ වැඳ පුද‌ා ගත්තේය. සාමාන්‍යයෙන් ප්‍රභූවරු පැමිණෙන දොරටුවෙන් නොව මාලිගාව පිටුපසින් ඇති මාර්ගයේ පිහිටි කෞතුකාගාරය ඉදිරිපිට සිට පා ගමනින් පැමිණි අගමැතිවරයා පත්තිරිප්පුව ඉදිරිපිටින් ප්‍රධාන වාහල්කඩින් මාලිගාවට ඇතුළු වූයේය. අතිවිශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුහු අග්‍රාමාත්‍යවරයාට ජයවේවා. කියමින් කෑ ගසන්නට වූහ.  


 විශේෂ අමුත්තන් පිළිගන්නා ආකාරයට සම්ප්‍ර‌ද‌ායික නිල ඇඳුමෙන් සැරසී සිටි දියවඩන නිලමේවරයා හා අනෙකුත් නිලමේවරු අග්‍රාමාත්‍යවරයා පිළිගෙන රතුපලස මතින් මුර යුද සෙබළුන් පිරිවරා ගෙන මාලිගාව තුළට කැඳවා ගෙන ගියේය. ආගමික වතාවත්වලින් පසුව දියවඩන නිලමේවරයාගේ නිවසේ තේ පානයට සහභාගි විය. එදිනට දියවඩන නිලමේවරයාගේ උපන් දිනය යෙදී තිබීමත් විශේෂත්වයක් විය.  


අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහානායක හිමිවරු බැහැ දැකීමට ගියේය. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ ගියවර තමන් වටා සිටි පිරිස හරහා විශාල අපකීර්තියක් ලැබීමට හේතු වූ නිසා මෙවර පිරිස් ළංකර ගැනීමේ දී අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් රට ගොඩ නැගීමට බුද්ධියෙන් කටයුතු කිරීම අවශ්‍ය බවත්ය.  


පසුවද‌ා අග්‍රාමාත්‍යවරයා සියලු මන්ත්‍රීවරු කැඳවීය. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ හැකි ඉක්මනින් මහ මැතිවරණයකට යාම තම අපේක්ෂාව බවයි. මෙම තනතුර තාවකාලික එකක් බව කී අග්‍රාමාත්‍යවරයා රනිල් සිතා සිටින්නේ මෙම තනතුර සද‌ාකාලික එකක් බව යැයි ද කීවේය. මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක්ම මේ අවස්ථාවේ කියා සිටියේ තම අරමුණ මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීම නිසා ඇමැති තනතුරු අපේක්ෂා නොකරන බව කීහ.  

 

තිස්ස විහාරය වැඳ පුදා ගනිමින්

 


මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තනතුරේ දිව්රුම් දීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව නිල උත්සවයකට සහභාගි වූයේ තිස්සමහාරාමයේදීය. ඒ වප් මඟුල් උත්සවයයි. දෙ​ෙදනාම තිස්ස විහාරයට පිච්චමල් වට්ටි දෙකක් පූජා කළේය. පූජා භූමියේ දෙදෙනා අඹ පැළ දෙකක් රෝපණය කළහ. අනතුරුව වප් මඟුල් උත්සවය සඳහා සූදානම් වෙන විට වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා යායුතු බව සඳහන් කර නික්ම ගියේය.  


වප් මඟුලට සහභාගි වූයේ ජනාධිපතිවරයා සමඟ මහින්ද අමරවීර චමල් රාජපක්ෂ, ශාන් විජයලාල් සිල්වා ඇතුළු පිරිසයි.  


 වප් මඟුලට සහභාගි වෙන අයට කහ පැහැති ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති සරමක් සූදානම් කර තිබුණි. ජනාධිපතිවරයා ද එයින් සැරසී ට්‍රැක්ටරයක නැගී එය ක්‍රියාත්මක කළේය. ඒ සමඟම එහි එන්ජිම නතර විය. නැවත ක්‍රියාත්මක කළ නොහැකි විය. එය අතහැර දැමු පිරිස උදලු අතට ගත්හ. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා වප් මඟුලට වෙන්කර තිබූ ඇඳුම් ඇඳ සිටියේ නැත.  


 ‘‘ශාන් ඇඳුම් මාරු කළේ නැත්තෙ ඇයි?’’  


 ‘‘නෑ සර් මම ඇන්දෙ නැහැ.’’ ශාන් ප්‍රකාශ කළේය.  


 අනිත් අය හිනැහෙන්නට වූහ.  


‘‘නෑ. සර් ෂාන්ට මේවා අඳින්න බැහැනේ. ඔබතුමාට තේරුණේ නැද්ද’’ මහින්ද අමරවීර කීය.  


‘‘මට තේරුණේ නැහැ.’’ ජනාධිපති කීය.  


 ‘‘සර් මෙයාට මේවා අඳින්න බැහැනේ.’’ මහින්ද අමරවීර කීය.  


‘‘හරි...හරි... දැන්නේ මට තේරුණේ ෂාන්ට මේවා අඳින්න බැහැනේ. කමක් නැහැ. කමක් නැහැ.’’ ජනාධිපති කීය.  


 ඉන්පසුව පැවැති ජනහමුවේ දී පිළිගැනීමේ කතාව සඳහා මහින්ද අමරවීර මහතාට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමැති වශයෙන් හඳුන්වමිනි. ජනාධිපතිවරයා තම කතාවේදී ප්‍රකාශ කළේ මහින්ද අමරවීර මහතා හිටපු කෘෂිකර්ම ඇමැති නොව අදත් හෙටත් කෘෂිකර්ම ඇමැති බවයි.  


රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (26) සෙනසුරාදා (27) ගාල්ලේ උත්සව ගණනාවකට සහභාගි වීමට සූද‌ානමින් සිටියේය. ගාල්ල විජයානන්ද දහම් පාසලේ නව ගොඩනැගිල්ල හා ජුම්මා මුස්ලිම් පල්ලියේ සුරක්ෂණ මධ්‍යස්ථානය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.  


රනිල් හෑගල්ල මහා විද්‍යාල භූමියට ගුවනින් ගියේය. පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා පාසල් භූමියට ගොස් ඔහු පිළිගත්තේය. දෙදෙනාම එක වාහනයක නැගී අමරපුර මූලවංශික මහා නිකායේ මහනායක කොස්ගොඩ සරණංකරතිස්ස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියහ.  


ඒ යන අතරතුර වේලාව ප.ව. 3.45 පමණය. රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ සැහැල්ලුවෙන් අශෝක ධනවංශ මහතා සමඟ කතා බස් කරමින් ගියේය. මාදුව පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ධනවංශ මහතා ඉල්ලා සිටියේය.  


‘‘ඒකට සල්ලි දෙන්නම් අශෝක.’’ රනිල් උත්තර දුන්නේය. ආද‌ාහන කටයුතු සඳහා අවශ්‍ය උදව් උපකාර ලබා දෙන ලෙසට වජිර අබේවර්ධන මහතාට උපදෙස් දෙන බව ප්‍රකාශ කළ අගමැතිවරයා ගාල්ල බලා පිටත් විය.  
 ඔහු කොළඹ සිට හෑගල්ල මහා විද්‍යාල භූමියට පැමිණි හෙලිකොප්ටර් යානයේ කිසියම් දෝෂයක් නිසා මෝටර් රථයෙන්ම රනිල් ගාල්ල බලා පැමිණියේය.  


 ගාල්ල විජයානන්ද දහම් පාසලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමෙන් පසු ජුම්මා මුස්ලිම් පල්ලියේ සුරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. ඒ ස්ථානයට පැමිණ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ‘සර් මට ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න කියල තියෙනවා. ඒ නිසා මම යනවා.’ කියා නික්ම ගියේය.  
 රැස්වීම අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලැබුණේය.  


ඊට පිළිතුරු දෙමින් ‘නැහැ. ඒක වෙන්න බැහැ. වැරදි තොරතුරක් වෙන්න ඇති.’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දැක්වීය.  


‘‘වැරදි තොරතුරක් නෙවෙයි සර්, දැන් තොරතුරු හරි. මේ දැන් රූපවාහිනී නාළිකාවලින් පෙන්නුවා.’’ යනුවෙන් පිළිතුරු ලැබුණි.  


රනිල් වික්‍රමසිංහ මහතාට එය තේරුම් ගත නොහැකි විය. ඔහුගේ ආරක්ෂකයෝ දුරකථනයේ ප්‍රවෘත්ති කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ලැබී තිබුණ ප්‍රවෘත්තියෙන්ද එය සනාථ විය.  

 

තිස්සමහාරාම වප් මඟුල් උළලේදී...

 


පසුවද‌ාත් දකුණේ රැස්වීමකට සහභාගි වීමට සූද‌ානමින් සිටි ඔහු ඒ මොහොතේම කොළඹ බලා පිටත් විය. ඔහුගේ දුරකථනයට විවේකයක් නොවීය. පණිවිඩය නිවැරදිකර ගත්තේය. හැම පැත්තකින්ම පණිවිඩ ගලා ආවේය. ඒ අතර තුර හිතවතුන් ගණනාවකටම කතා කර අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.  


‘සර් අපි ජනාධිපතිතුමාට කතා කරමු. අකිල විරාජ් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැන් කතා කරන්න දෙයක් නැහැ. ඒත් එහෙම දෙයක් කරන්න ජනාධිපතිට පුළුවන් කමක් නැහැ. මේක ව්‍යවස්ථා විරෝධි වැඩක්. රනිල් පිළිතුරු දුන්​ෙන්ය.  


‘‘දැන් අපි මොකද කරන්නේ?’’  


‘‘හැමෝම ​අරලියගහ මන්දිරයට ගෙන්වන්න. ප්‍රවෘත්ති සාකච්ඡාවක් සූද‌ානම් කරන්න.’’ අගමැතිවරයා දැනුම් දුන්නේය.  


රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට එන විට මැති ඇමැතිවරු, හිතවතුන් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ.  ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු දකුණේ මැති ඇමැතිවරු ගණනාවක් අධිවේගි මාර්ගය ඔස්සේ අරලියගහ මන්දිරයට පැමිණියහ.  


සියල්ලෝ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුහු ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළහ.  රාත්‍රී 8.30 පමණ වන විට ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීන් කැඳවා තිබුණත් ඒ සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දුන්නේ තෝරාගත් මාධ්‍ය ආයතන කීපයකට පමණි.  


සැලසුම් සහගත ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව ලබා ගැනීමේ අවස්ථාව ඇහිරීම නිසා ඒ අවස්ථාවට සහභාගි වූ සාගල රත්නායක හිටපු ඇමැතිවරයාගෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසා ගැනීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.  


 හිටපු ඇමැතිවරු මන්ත්‍රීවරු එක් එක්කෙනා මාධ්‍යයට අදහස් දක්වද්දී අරලියගහ මන්දිරයේ තවත් කාමරයක ඉදිරි වැඩ කටයුතු ගැන සාකච්ඡා කළහ.  


 රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වූයේ ව්‍යවස්ථාව අනුව තමන් ඉවත් කළ හැක්කේ විශ්වාසභංගයකින් බවයි. එසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගෙන ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා තනතුරේ රඳවා ගැනීමටත් ඉදිරියට ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීමටත් සාකච්ඡා විය.  


 බලය යොදවා අරලියගහ මන්දිරය තුළට ආරක්ෂකයන් යෙදවුවොත් එය වැළැක්වීම සඳහා සෙත් පැතීමේ පිරිත් දේශනාවක් ආරම්භ කිරීම ලහි ලහියේ සූද‌ානම් කළේය. පිරිත් ​ෙද්ශනාව අතරතුර කිසිදු බලපෑමක් කළ නොහැකි බව ඔවුන්ගේ විශ්වාසය විය.  


 පසුවද‌ා රනිල් වික්‍රමසිංහ මහතා විදේශ තානාපතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා ව්‍යවස්ථා විරෝධී අගමැතිවරයා පත් කළ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාවට අනුකූලව ගැටලු විසඳාගත යුතු බව තානාපතිවරු බහුතරයකගේ මතය විය.  


 එදින අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා තනතුරෙන් ඉවත් කිරීම සිදුවී තිබිණි.  

 

 

 

දයාසීලි ලියනගේ