දෙමළ සන්ධානයේ නායකත්වය බාරගන්න සුමන්තිරන් සූද‌ානම්


(නිශාන්ත කුමාර බණ්ඩාර) 

පක්ෂයේ බහුතරය ඉල්ලීමක් කළහොත් පක්ෂ නායකත්වය බාර ගැනීමට සූදානම් බව දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. 

 දැනට දේශපාලනය පිළිබඳ හසල අත්දැකීමක් ඇති දෙමළ සන්ධානයේ නායක ලෙස ආර්. සම්බන්දන් මහතා ක්‍රියා කරන අතර ඔහුගේ අත්දැකීම් පක්ෂය තවදුරටත් බලාපොරොත්තු වන බව සුමන්තිරන් මහතා පැවැසීය. 


පක්ෂයේ සෙසු සාමාජිකයන්ගේ බහුතර ඉල්ලීම මත තමන්ට නායකත්වය බාර ගැනීමට ඉල්ලීමක් කළහොත් එය ප්‍රතික්ෂේප නොකරන බවයි ඔහු ප්‍රකාශ කළේ. 
 පක්ෂ නායකත්වයෙන් සම්බන්ධන් මහතා ඉවත් වුවද ඔහු ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඔහුගේ සේවය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. 
 තමන් කොළඹ ජීවත් වුවත් සතියේ දින හතෙන් පහක්ම යාපනයේ රැඳී සිටින බවත් උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ හොඳ අවබෝධයක් තමන්ට ඇති බව සුමන්තිරන් මහතා පවසයි. 


මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී උගත්, බුද්ධිමත් තරුණ පිරිසට වැඩි අවස්ථාවක් ලබා දීමට තීරණය කර තිබේ. 


 දේශපාලන වශයෙන් තම සන්ධානය විසින් තරුණයන්ට අවස්ථාවක් ලබා දීමට ප්‍රතිපත්තිමය වශයෙන් ද තීරණය කර තිබේ. 


මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම සන්ධානය වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා කටයුතු කරන අතර ඒ සඳහා වතුකරය නියෝජනය කරන පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සුමන්තිරන් මහතා පැවසීය.