දෙමළ සන්ධානයේ ගැටුම් සමනය කිරීමට සම්බන්ධන් වෑයමක


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
දැනට බිඳී ගොස් සිටින දෙමළ සන්ධානය යළි ඒකරාශි කිරීම සඳහා විපක්ෂ නායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දැඩි උත්සාහයක නිරතවෙන බව වාර්තා වෙයි.  

මේ සම්බන්ධව දෙමළ සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් සමග ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ළඟදීම කැඳවා ඇතැයි එම සන්ධාන ආරංචි මාර්ග පැවැසීය.  දෙමළ සංවිධානයට සම්බන්ධ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය එම සන්ධානයෙන් ඉවත්වයාමත් සමඟ අර්බුදයක් හට ගත්තේය.  


සන්ධානයට සම්බන්ධ ප්‍රධානතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය දැඩි මතධාරීව කටයුතු කරන නිසා එම සන්ධානයට සම්බන්ධ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ඉන් ඉවත්වීමට තීරණය කෙරිණ.  කෙසේ වෙතත් පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීම සඳහා ආර්. සම්බන්දන් මහතා විසින් දුරකථනයෙන් සාකච්ඡා කොට මෙම අර්බුදය විසඳීමට ඉදිරියේදී පකෂ නායකයන් හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළ බව දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවැසීය.   


මේ අතර දෙමළ සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එක්ව නව සන්ධානයක් බිහිකර ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට එකඟවී ඇත.