දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ වාර්තාවක් අගමැති ඉල්ලුවා


දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දැනට දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින දෙමළ තරුණයන් නිදහස් කිරීම පිළිබඳව අගමැතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවෙයි.   

අග්‍රාමාත්‍යවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පසුගියදා ඇතිවූ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කළ බව දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.  ඒ අනුව ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළ බවද සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.  


අදාළ විස්තර පසුගියදා අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී තිබේ. ඒ අනුව ඔවුන් පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙන බව ඔහු පැවසීය.  මෙසේ අත්අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ ක්‍රියාධරයන් යයි සැක කෙරෙන දමිළ තරුණයන් වසර ගණනාවක් පුරා බන්ධනාගාර ගත කර සිටිති.  


ඔවුන්ට චෝදනා ඇතිනම් කඩිනමින් නඩු කටයුතු ගොනු කොට, නඩු පවරන ලෙසත්, එසේ චෝදනා නැති අය නිදහස් කරන ලෙසත් දෙමළ සන්ධානය දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කරමින් සිටී.