දෙමළ ජනතා ගැටලු විසඳන්න අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ - සම්බන්දන්


(නිමල කොඩිතුවක්කු)  

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා රටට අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමග ඉදිරියේ දී මේ ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.  


එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ යෝජනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය වඩා විමසිල්ලෙන් පසුවන බවත් පැවසූ සම්බන්දන් මහතා දෙමළ ජනතාවට විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයකුට සහයෝගය ලබා දෙන බවත් පැවසීය.  දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පාර්ශ්ව සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව අවසන් තීන්දුවක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කීය.