දෙපැත්තටම සමාව දී උතුරේ යුද අපරාධ කතාබහ නවත්වමු


(අජන්ත කුමාර අගලකඩ)  

යුද්ධය හා සම්බන්ධ යම් යම් කාරණාවලදී ආරක්ෂක හමුද‌ාවල හා එල්ටීටීඊ යේ හිටපු සාමාජිකයින්ට චෝදනා එල්ල වී ඇත්නම් දෙපාර්ශ්වයේම අය නිදහස් කර ප්‍රශ්නය අවසන් කළ යුතුව ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  

තවදුරටත් තුවාල පාරමින් මේ ප්‍රශ්නය දුරදිග ගෙන යා යුතු නැතැයි කී ඇමැතිවරයා උතුරේ නිවාස හදන්නේ නම් යුද්ධයෙන් බැට කෑ පවුල්වලට ඒවා මුලින් ලැබිය යුතුව ඇතැයි ද කීවේය.  


මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් කොමිෂන් සභා 7 ක් පත්කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.  


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට බ්‍රිතාන්‍ය, ජර්මනිය ප්‍රමුඛ රටවල් එකතු වී කටයුතු කරන්නට යන බවට ආරංචියක් ඇතැයි කී ඇමැති රණවක මහතා එය තවදුරටත් ගෙන යාමේ තේරුමක් නැතැයි ද එය මෙතැනින් අවසන් කළ යුතුව ඇතැයි ද කීවේය. යුද්ධයෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් අතුරුදන් වීමේ සහතික නිකුත් කර ඔවුන්​ෙග් කලත්‍රයන්ට ලැබිය යුතු නීත්‍යානුකූල හිමිකමක් වේ නම් එය ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.