දූෂණ අක්‍රමිකතා නැවැත්වුවොත් ලංගමයෙන් ලාභ ලැබිය හැකියි


සභාපති රණවක   

 

(විනීතා එම්. ගමගේ)   

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වුවහොත් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

ටයර්වලින් පමණක් වසරකට රුපියල් කෝටි සියයක මුදලක් අපතේ යවන බවත් කිලෝ මීටර් 70000ක් ධාවනය කළ හැකි ටයර් ගෙන්විය හැකිව තිබියදී ඊට වඩා මිලක් ගෙවා කිලෝ මීටර් 20000ක් පමණක් ධාවනය කළ හැකි ටයර් මිල දී ගන්නා බවත් හෙතෙම කියා සිටියේය. 


ලංගමයට අයත් සේවා ස්ථානවලින් රුපියල් ලක්ෂ තුන හමාරකට එන්ජින් අලුත්වැඩියා කරගත හැකිව තිබියදී පෞද්ගලික අංශයට දී ලක්ෂ අටහමාර බැගින් ගෙවා ඇති බවත් කී රණවක මහතා එන්ජින් අලුත්වැඩියාවන්ගෙන් තුනෙන් දෙකක් දී ඇත්තේ පිටස්තර තැන්වලට බවද පැවැසීය. ලංගම දක්ෂ ඉංජිනේරුවන් සිටින බව තමන් වැඩ භාර ගැනීමෙන් පසු කළ විපරම්වලදී හෙළිවී යැයි කී සභාපතිවරයා ඔවුන් අලුත්වැඩියාවන් කළ හැකි බව පවසද්දී පිටස්තර ආයතනවලට වැඩ බාරදී ඇතැයි පෙනී යන බවත් එසේ කළේ ඇයි දැයි සොයා බැලීමට කටයුතු කරන බවද කීය.