දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)   

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.   

තාවකාලිකව අත්හිටවුවත් තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට කාලය ලබා දී ඇති බවත් ඊට විසඳුම් ලබා නොදෙන්නේ නම් නැවත වර්ජනය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.   


පරිපාලනයේ වෙනස්කම් සිදු කිරීම, දුම්රිය ප්‍රමාදයන් වැළැක්වීමට කටයුතු කිරීම, දිගින් දිගට සිදුවෙන දුම්රිය අනතුරු අවම කිරීම සඳහා සංඥා පද්ධති නවීකරණය කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන වෙයි.   
මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඊට නිසි විසඳුමක් නොලැබුණු නිසා වර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එකඟවී තිබේ.   
එහෙත් දැනට පවතින වසංගත තත්ත්වය නිසා එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ අතර ඊට විසඳුම් නොලැබුණහොත් නැවත වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය එංජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.