දුම්රිය මැදිරි නඩත්තුව පෞද්ගලික අංශයට දීමෙන් විශාල මුදලක් අපතේ


 

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දුම්රිය මැදිරි නඩත්තු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන කර්මාන්ත ශාලාවේ පහසුකම් තිබිය දී පෞද්ගලික ආයතනයකට ලබාදීමට කටයුතු කිරීමෙන් විශාල මුදලක් අපතේ යන බව දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.   

එම මැදිරි නඩත්තු කිරීම අධීක්ෂණය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පිරිසක් යොදවා ඇති අතර ඔවුනට එම පෞද්ගලික සමාගම මගින් අමතර දීමනාවක් ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.   
මේ නිසා සුලු නඩත්තු කටයුතු කිරීමට හැකියාව තිබුණ ද එම නිලධාරීන් පිරිසක් පෞද්ගලික ආයතනයකට ඒවා පැවරීමට උත්සාහ ගත්තේ අමතර මුදලක් ලැබෙන නිසා බව ඔහු පැවසීය.   


දුම්රිය දෙපාර්තමේන්තුවට මේ නිසා විශාල මුදලක් වැයවෙන අතර දුම්රිය මැදිරි නඩත්තුව රත්මලාන කර්මාන්ත ශාලාවෙන් සිදු කිරීමෙන් එම මුදල අවම කර ගැනීමට පුළුවන්කම තිබේ.   


එක් දුම්රිය මැදිරියක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 18ක් පමණ වැය කෙරේ.   


නමුත් එතරම් මුදලක් වැය කොට නඩත්තු කිරීමට තරම් දුම්රිය මැදිරි අබලන්ව නැති බවත් එම මුදලම සුලු නඩත්තු කටයුතු සඳහා වැය කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම නිකරුණේ වැය කරන බව දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.