දුම්රිය ගාස්තුව සියයට 15 කින් වැඩිවෙයි ?


 

(මහින්ද නිශ්ශංක)  
ලබන ජූනි මාසයේ සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩිවන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.   


ඒ අනුව දැනට රුපියල් 10 ක් වන අවම ගාස්තුව සමස්තයක් වශයෙන් වැඩි නොවුවද රුපියල් 10 ගාස්තුවෙන් ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර 10 ක දුර ප්‍රමාණය කිලෝ මීටර 6 දක්වා අඩුකර ඇතැයි දුම්රිය ගාස්තු සම්බන්ධව පත්කෙරුණු පංච පුද්ගල කමිටුව පවසයි.  

රුපියල් 10 අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර ප්‍රමාණය මෙවර අඩු කිරීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාන අතර පෙර පැවැති රුපියල් 10 ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවැසීය.  


වසර අටකට පසුව මෙවර සිදුවන දුම්රිය ගාස්තු වැඩිවීමට සමානුපාතිකව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිවන බවත් එම නිලධාරියා කීය.  


මේ අතර දුම්රිය ගාස්තු වැඩිවීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කමිටුව මගින් සකස් කරන ලද නව ගාස්තු චක්‍රය එම කමිටුව විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට පසුගියදා බාර දී ඇත.