දුම්රිය ගාස්තු වැඩිකිරීම ගැන අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්


(මහින්ද නිශ්ශංක)  

දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි කිරීම සඳහා නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහානාම අබේවික්‍රම මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇත.  

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න, නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ටී. ඉඳිපොළගේ, ප්‍රධාන ගණකාධිකාරි එස්. බටුවන්තුඩාව සහ සහකාර වාණිජ අධිකාරි ඩබ්ලිව්.එස්. චන්දන යන මහත්වරු පත්කර ඇත.  


වසර තුනෙන් තුනට දුම්රිය ගාස්තු වැඩිවිය යුතු වුවත් වසර අටකින් දුම්රිය ගාස්තු වැඩි වී නැතැයි පවසන දුම්රිය සාමාන්‍යාධිකාරි අබේවික්‍රම මහතා අවසන් වරට දුම්රිය ගාස්තුවේ වැඩිවීමක් සිදුවී ඇත්තේ 2008 වසරේදී බවද කීය.  


දුම්රිය ගාස්තු වැඩිවීමට අනුව දැනට පවතින අවම දුම්රිය ගාස්තුවේ වැඩිවීමක් සිදුනොවන බව පෙන්නා දෙන සාමාන්‍යාධිකාරි අබේවික්‍රම මහතා රුපියල් 10ක් වන අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි කිලෝමීටර 10 දුර ප්‍රමාණය කිලෝමීටර 6 දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.  


දුම්රිය ගාස්තු වැඩිවීම ලබන ජුනි මාසයේ සිට සිදුවිය හැකි බව කමිටුව විශ්‍වාස කරයි.