දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 300කින් දුවන්නේ 130යි


(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එංජින් සහ බලවේග කට්ටල 300ක් පමණ ඇතැත් ඉන් ධාවනය වෙන්නේ 130ක් පමණක් බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.   

බලවේග කට්ටල හා දුම්රිය එංජින් 170ක් පමණ දැනට ගාල්කර ඇති අතර ධාවනයේ යෙදෙන්නේ බලවේග කට්ටල 70ක් සහ එංජින් 60ක් පමණි.   


මේවා නඩත්තු කොට ධාවනයට එක්කරන්නේ නම් සෑම දුම්රියකටම එක් එංජිමක් බැගින් එක්කළ හැකි බවත්, දැනට එක දුම්රියක් පැමිණීමෙන් පසු එම එංජිම මගින් තවත් දුම්රියක් ධාවනය කිරීමට පවතින තත්ත්වය නිසා සිදුවී ඇතැයි ද ඔහු සඳහන් කරයි.   


මෙතරම් සම්පත් ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු වුවත්, ඒවා ප්‍රයෝජනයට නොගෙන බලධාරීන් චීනයෙන් මැදිරි සහ එංජින් ආනයනය කර තිබෙන බව කී ඒ මහතා එම දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බවත් එහි රෝද කට්ටල කිසිසේත්ම ලංකාවට නොගැලපෙන බවත් ඔහු පෙන්වා දෙයි.   


මෙම මැදිරිවල තිරිංග හා රෝද කට්ටල නැවත සකස් කිරීම සඳහා එක් මැදිරියකට රුපියල් කෝටි 10ක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙන බවට ගණන් බලා ඇතැයි ද ඔහු සඳහන් කළේය.