දුම්රිය 61 ක් කොටඋඩ ගාස්තු ඉහළට !


 

දුම්රිය  61 ක්  කොටඋඩ 

(පුෂ්පා වීරසේකර)  

අලුත්වැඩියා කළයුතු දුම්රිය එංජින් 33ක් සහ බලවේග කට්ටල 28ක් රත්මලාන දුම්රිය අංගණයේ ඇතැයි ජාතික දුම්රිය සේවක සමිතිය ‘ඉරිදා ලංකාදීප’යට හෙළි කළේය.  

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ සිවු මසක් තිස්සේ පැවැති අකුරට වැඩ කිරීම නිසා මෙසේ දුම්රිය අලුත්වැඩියාව ප්‍රමාද වී පවතින බවද එම සංගමය චෝදනා කළේය.  


සුළු අලුත්වැඩියාවන් කළ යුතු එංජින් 16ක්ද, බලවේග කට්ටල 17ක්ද, සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කළ යුතු එංජින් 06ක් හා බලවේග කට්ටල 04ක්ද, ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය හයක් ද රත්මලාන අංගණයේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබේ. මේ හැර තවත් එංජින් 11ක් රත්මලානට ප්‍රතිසංස්කරණ සඳහා යැවීමට නියමිත බවද එම සංගමය පවසයි.  


මෙම සියලු දුම්රියන් ධාවනයට යෙදවිය යුතු දුම්රිය බවත් සේවකයන් අකුරට වැඩ කිරීම නිසා ප්‍රතිසංස්කරණය ප්‍රමාද වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බවද ජාතික සේවක සංගමය සඳහන් කරයි.  


බලවේග කට්ටල දුම්රිය 90ක් තිබුණද සේවාවට අවැසි දුම්රිය 77 සඳහා ඇත්තේ දුම්රිය 63ක් බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙසේ දෛනික අවශ්‍යතාවට සරිලන දුම්රිය අලුත්වැඩියා කිරීමට ඇති නිසා දුම්රිය ප්‍රමාදවීම්, අවලංගු වීම් හා අතර මඟ ඇණහිටීම් සිදුවන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් මේ සම්බන්ධව විමසීම් කළ විට ප්‍රකාශ කළේය.  


ගාස්තු ඉහළට !

(මහින්ද නිශ්ශංක)  
ලබන සැප්තැම්බර් 1 දා සිට දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සියයට 15කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.  

මේ අනුව රුපියල් 10ක් වන අවම ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන නමුත්, දැනට රුපියල් 10 ගාස්තුවෙන් ගමන් කළ හැකි කිලෝමීටර 10ක දුර ප්‍රමාණය කිලෝ මීටර 7 දක්වා අඩුකර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.  


දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඉහළ යන බව එම නිලධාරියා කීය.  


වසර 10කට පසුව සිදුකෙරෙන මෙම දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය ද ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.