දුම් පරීක්ෂණ බද්දෙන් සියයට අනූවක්ම සමාගමට


 

(පුෂ්පා වීරසේකර) 

දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන මගින් වාහන විමෝචනය පරීක්ෂා කිරීම (දුම් සහතිකය) සඳහා ලබා ගන්නා මුදලින් රජයට අයවන්නේ සියයට දහයක (10%) මුදලක් පමණක් බව වාර්තා වේ. 

වාහන හිමියන්ගෙන් අයකරනු ලබන මුදලින් සියයට අනූවක්ම (90%) අදාළ පෞද්ගලික ආයතනවලට හිමිවේ. මේ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ද තහවුරු කරයි.

 
මේ අතර වාහන විමෝචන භාර අරමුදලේ මුදල් අවභාවිත වී ඇතැයි ‘‘ඉරිදා ලංකාදීප’’යට වාර්තා වේ. 


පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පිහිටුවන ලද මෙම අරමුදල පිහිටුවීමේ අරමුණු අතර දේශීය ගරාජ වැඩිදියුණු කිරීම ඇතුළු අරමුණු ගණනාවක් තිබුණ ද එම අරමුණු කිසිත් මේ තාක් ඉටු වී නොමැති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පෙන්වා දෙයි. 


දේශීය ගරාජ 24500ක පමණ ප්‍රමාණයකට වාහන සුසර කිරීමේ උපකරණ පවා මේ අරමුදල මගින් ලබාදීමට නියමිතව තිබුණත් මේතාක් ඒ කිසිවක් ඉටු නොවී ඇති බව චිරන්ත අමරසිංහ මහතාගේ අදහසයි. 


එම අරමුදලට මුදල් බැරවීම හා අරමුණු සඳහා මුදල් හරවීම යනාදී කිසිවක් නොවී මුදල් අවභාවිත වී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. 


මේ සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලධාරියකු අදහස් දක්වමින් කියාසිටියේ ඒ සම්බන්ධ කිසිත් කිවනොහැකි බවකි.