දුප්පතුන්ට බෙදන්න තිබූ ආහාර පාර්සල් 2400ක් පිල්ලි ඇරලා


(දයාසීලි ලියනගේ)   

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ දුගී දුප්පත් පවුල් 400 කට නොමිලේ බෙදා හැරීමට ලබාදෙන ලද වියළි ආහාර පාර්සල් 2400 ක් අතුරුදන්වී ඇති අතර හාල් කිලෝ 5 බැගින් අඩංගු බැග් 50 ක් දේශපාලනඥයකු විසින් පෞද්ගලික වෙළෙඳ සැලකට අලෙවි කිරීමේ සිද්ධියක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැමිණිලි කර ඇත.   

කොළඹ නගර සභාවේ වියදමින් පිළියෙල කරන ලද වියළි ආහාර පාර්සල් 50,000ක් මන්ත්‍රීවරුන් 119 දෙනා අතර බෙදා ඇත. එහිදී එක් මන්ත්‍රීවරයකුට පාර්සල් 400ක් බැගින් ලබා දී ඇති බව ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් කීය.  


ඉතිරි වියළි ආහාර පාර්සල් 2400ක ප්‍රමාණයට සිදු වූ දෙයක් පිළිබඳව වාර්තා නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


මීට අමතරව මෙම වියළි ආහාර පාර්සලයකට කිලෝ 5 බැගින් වූ සහල් බෑග් දෙකක් ලබා දී තිබූ අතර එයින් කිලෝ 5 ක සහල් බෑග් 50ක් නාගරික මන්ත්‍රීවරයකු විසින් නාරාහේන්පිට පෞද්ගලික වෙළෙඳ සැලකට විකුණා ඇති බවට ද පැමිණිලි කර ඇත.