දුප්පතාට ණය සහන නොදුන්නොත් රජයට එරෙහිව ජනතාව පෙළගස්වනවා


(දයාසීලී ලියනගේ)

මේ රටේ දුගී දුප්පත් ජනතාව රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණයවලින් නිදහස් වීමට සහන සැලසීමට හා ගම් මට්ටමින් සීග්‍රයෙන් පැතිරී යන මයික්‍රෝ ණය ක්‍රමය අත්හිටුවීමට වහාම පියවර නොගතහොත් රජයට එරෙහිව ජනතාව පෙළගැස්වීමට පියවර ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා කීය.  

මේ සඳහා වැඩපිළිවෙළක් ජනාධිපති, අගමැති හා විපක්ෂනායකවරයා එක්ව සැකසිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.  


බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව මේ රටේ බහුතරයක් දුගී දුප්පත් ජනතාව දැඩි අසීරුවකට පත්වී සිටින නිසා ඔවුන්ට වහාම සහනයක් සැලසිය යුතු බව ද ඩඩ්ලි සිරිසේන මහතා කීය.  


දැන් ගම් මට්ටමින් සීග්‍රයෙන් පැතිරී යන ණය කාඩ් වැඩ පිළිවෙළ මගින් දුගී දුප්පත් ජනතාවට උපයා ගන්නා සෑම සතයක්ම ණය කාඩ්වලට ගෙවීමට සිදුවී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.  


ගම් මට්ටමේ ජනතාවට ඉතා තදබල ලෙසින් බලපාන මෙම කරුණු දෙකට වහාම සහනයක් අවශ්‍ය වෙන අතර එසේ නොකරන්නේ නම් රටේ ජනතාව සමඟ තමන් රජයට විරුද්ධව පියවර ගන්නා බව ද ඔහු කීය.  


දුගී දුප්පත් ජනතාවට සහනයක් සැලසීම සඳහා ඔවුන් ණය බරින් නිදහස් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කීය.