දිස්ත්‍රික්ක අටක් බරපතළ අවද‌ානමක


දැඩි සීමා නැතිවුණොත් අනික් දිස්ත්‍රික්කවලටත් පැතිරෙයි

(දයාසීලි ලියනගේ)  

දිස්ත්‍රික් අටක කොරෝනා රෝගී තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.  


ගම්පහ, කොළඹ, කළුතර, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පවත්නා බරපතළ තත්ත්වය ඉදිරියට තවත් වැඩිවෙන්නට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ දිස්ත්‍රික්ක අට තුළ පවත්නා බරපතළ තත්ත්වය අනෙකුත් දිස්ත්‍රික්කවලටද බරපතළ ලෙසින් ඇතිවනු ඇතැයිද එම සංගමය රජයට දැනුම් දී ඇත.

මෙම දිස්ත්‍රික්කවල පී.සී.ආර්. පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, රෝගීන් රෝහල් ගත කිරීම හා ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ප්‍රමාද නිසා තත්ත්වය බරපතළ වෙමින් පවතින බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.  


මේ බරපතළ තත්ත්වයෙන් ගැලවීමට නම් සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර රෝගීන් රෝහල් ගත කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව ලබාදීම ඇතුළුව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රජයට පෙන්වා දී ඇතැයිද වෛද්‍ය සොයිසා මහතා කීය.