දිස්ත්‍රික්ක 12ක ඇඳිරිය අවුරුද්දෙන් පසු ඉවතට?


 

 

(අජන්ත කුමාර අගලකඩ)   

කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක 12ක ඇඳිරි නීතිය, සෞඛ්‍ය අංශවල නිර්දේශද සැලකිල්ලට ගෙන අලුත් අවුරුද්දෙන් පසුව ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.   


අලුත් අවුරුද්දෙන් පසුව එම දිස්ත්‍රික්කවල තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් කර සෞඛ්‍ය අංශවලද නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

ඒ අනුව, හම්බන්තොට, මොණරාගල, මාතලේ, නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක දොළහේ ඇඳිරි නීතිය අලුත් අවුරුදු සමයෙන් පසුව බොහෝදුරට ඉවත් කෙරෙනු ඇතැයි ඔහු කීවේය.   


මෙම දිස්ත්‍රික්කවලින් කොරෝනා රෝගීන් මෙතෙක් වාර්තා නොවීමත්, කොරෝනා පාලනයට දැඩි පියවරගෙන තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට නියමිතව ඇත.  මෙම දිස්ත්‍රික්ක 12ට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහිත් ඇඳිරි නීතිය ඉවත් කළහොත් ප්‍රධාන මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු සිදුකළ හැකි බව ආණ්ඩුවේ උපදේශකයන් පෙන්වා දී ඇතැයි පැවසේ.   


ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේද ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ. 

 
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන, කොරෝනා රෝගීන් වාර්තා නොවුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස රජය හඳුනාගෙන ඇත.   


දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හයේත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති මාතර, බදුල්ල, මඩකළපුව, ගාල්ල, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හතේත් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවැසේ. 

 
කෙසේ වුවද ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනෙන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව බවද රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.